STF අත්අඩංගුවට පත් පාතාල සාමාජිකයෝ

නමගිය අපරාධ කල්ලි සාමාජිකයන් අටදෙනෙක් ඊයේ (22) උදෑසනින් අවසන් වූ පැය 24 තුළ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම අපරාධ කල්ලි සාමාජිකයන් අටදෙනා මතුගම, හංවැල්ල, රත්මලාන, රඹුක්කන යන ප්‍රදේශවල දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් සමග අවි ආයුධ කිහිපයක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් නීති කොට්ධාසය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු තිදෙනෙක් වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තනිප්පුලි ආරච්චිගේ දසුන් බුද්ධික ජයතිලක නොහොත් ‘අක්කු’ යන පාතාල සාමාජිකයා සහ තවත් දෙදෙනෙක් බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව ව්‍යාජ පිස්තෝලයක්, කඩු 03ක්, කිනිස්සක්  සහ කේරළ ගංජා ග්‍රෑම් 325ක් තිබී ඇත.

Leave A Reply

Your email address will not be published.