සඳ හිරු සෑයේ තැන්පත් කිරීමට රේගුවෙන් දුන් රත්තරන් ගැන ජනපති කොමිසමේ දී අනාවරණයක්

අනුරාධපුර සඳ හිරු සෑයේ තැන්පත් කිරිමට රේගුවෙන් ලබාදුන් රත්‍රං තොගය හිටපු ආරක්ෂක ලේකම් හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීමට ලබාදුන් බව පවසන්නැයි විමර්ශන නිලධාරීන් තමාට දෙවරක් බලපෑම් සිදු කළ බව විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයකු වන තාරක සෙනෙවිරත්න මහතා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කර තිබේ.

යහපාලන රජ‍ය සමයේ දේශපාලන පිළිගැනිම් සිදු වූ බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත තාරක සෙනෙවිරත්න මහතා සිදු කළ පැමිණිල්ලක් විභාග කළ අවස්ථාවේ ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙම සිද්ධියට අදාළව පළමු ප්‍රකාශය තමාගෙන් 2016 වසරේ ලබා ගත් අතර එය සාර්ථක නැති බව පවසමින් නීතිපතිවරයාගේ උපදෙස් මත තවත් ප්‍රකාශයක් ගන්නා බව පවසා දෙවන කට උත්තරය 2019 වසරේ තමා රෝහල් ගතව සිටියදී ලබා ගත් බව සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

නීතිපතිවරයා සකස් කර දී තිබු ප්‍රශ්න 21ක් ලබා දී “දැන්වත් පිළිගන්න ගෝඨාභය කියු නිසා රන් ලබා දුන් බවට”යැයි තමාට විමර්ශන නිලධාරියා දැඩි ලෙස කියා සිටි බව කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් සඳ හිරු සෑයට සමාධි බුද්ධ ප්‍රතිමාවක් හැදීමේ ඉල්ලීම ලැබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් බව විශ්‍රාමික  අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් තාරක සෙනෙවිරත්න එහිදී සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීර්ති නාමය විනාශ කිරීමේ අරමුණින් තමා ව්‍යාජ නඩුවකට සම්බන්ධ කර ඇති බව එහිදී පැවසූ තාරක සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති තමා, රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් මානසික පීඩනයකට පත් කළ බවය.

Leave A Reply

Your email address will not be published.