රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා පාස්කු ප්‍රහාරයකයන් සමග ඍජු සබඳතා පැවැත්වූ බව තහවුරුයි – පොලීසිය

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා වන බදියුදීන් මොහොමඩ් රියාජ් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් සමග ඍජු සබඳතා පවත්වා ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බදියුදීන් මොහොමඩ් රියාජ් මේ වන විට රහස් පොලීසිය විසින් රඳවාගෙන සිටී.

මොහු බෝම්බකරුවන් ප්‍රවාහනයට ආධාර සහ අනුබල දුන් බවට ද පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මොහොමඩ් රියාජ් පාස්කු පාස්කු ප්‍රහාරය සඳහා මුල්‍ය දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති බවත් ඒ පිළිබඳව මේ වන විටත් විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී ප්‍රකාශ කළේය.

ඉතා ඉක්මනින් එම විමර්ශන අවසන් කළ හැකි වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

සෑම විටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ මෙරට ඇති නෛතික ප්‍රතිපාදන අනුව බවද ඒ නිසාවෙන් යම් අභියෝගයක් ඇත්නම් ඒ සඳහා නොබියම මුහුණ දෙන බවද ඒ මහතා කියා සිටියේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් කිරීමේ අරමුණින් තම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බව පවසමින් බදියුදීන් මොහොමඩ් රියාජ් වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම පසුගියදා (18) ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 6 වන දා කැඳවීමට අධිකරණය නියම කළේය.

Leave A Reply

Your email address will not be published.