ඉන්දියාවේ සිට මෙහෙය වූ පළිගැනීම

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට පසුගියදා (17) සවස මාලිගාවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කර ඇත්තේ ඉන්දියාවේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන පූකුඩු කන්නා නැමැත්තාගේ සැලැස්මක් අනුව බව හෙළිවී තිබේ.

එම පහරදීමට අදාළව පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ඒ බව පවසා තිබුණි.

කංජිපානි ඉම්රාන්ගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහීම් මොහොමඩ් නජීත්ට මාලිගාවත්ත සද්ධර්මාරම විහාරස්ථානය ඉදිරිපිටදී ඊයේ සවස 6.39ට මෙම පහරදීම සිදුව තිබේ.

සිද්ධිය වූ අවස්ථාව අසළ තිබූ සී.සී.ටීවී කැමරාවක ද සටහන්ව තිබුණි.

මේ අතර ඊයේ රාත්‍රියේදීම රථ වාහන පොලිසියේ නිලධාරියෙකු විසින් පලායන ත්‍රී රෝද රථය නවත්වා එහි ගමන් කළ අයෙකු ත්‍රී රෝද රථයද සමගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඉන්දියාවේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන පූකුඩු කන්නා නැමැත්තා විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බව ය.

ඒ පූකුඩු කන්නාගේ පියාව මීට වසර කිහිපයකට පෙර කංජිපානි ඉම්රාන් විසින් ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

පළමුව ත්‍රී රෝද රථයේ පැමිණි පිරිස මාලිගාවත්තේ පිහිටි කංජිපානි ඉම්බ්‍රාන්ගේ පියා පදිංචිවී සිටින නිවස  පරීක්ෂා කර ඇති අතර එහ ඔහු නොසිටීම නිසා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

අනතුරුව මොවුන්ව මෙරට සිට මෙහෙය වූ පුද්ගලයාට පවසා ඇත්තේ කංජිපානිගේ පියාව සොයාගත නොහැකි බව ය.

එහිදී පූකුඩු කන්නා ඉන්දියාවේ සිට වට්ස් ඇප් ඔස්සේ හඬ පණිවුඩයක් එවා පවසා ඇත්තේ කංජිපානිගේ පියා කොළ පැහැති සරමක් හැඳ තවත් සුළු වේලාවකින් සද්ධාර්මාරාම විහාරස්ථානය ඉදිරිපිටින් ගමන් ගන්නා බව ය.

ඒ අනුව එහි රැඳී සිටි පිරිස කංජිපානිගේ පියා එම ස්ථානයෙන් ගමන් ගන්නා අවස්ථාවේදී ප්‍රහාරය එල්ල කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ පහරදීමට පැමිණ පලාගිය එක් අයෙක් ස්වාමීනාදන් හෙවත් සුදා නමින් හඳුන්වන බව ය.

Leave A Reply

Your email address will not be published.