ගෝඨාභය කියන්නේ හොඳ නළුවෙක් – අජිත් පී. පෙරේරා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු හොඳ නළුවෙක් බව නැවත වරක් පෙන්වා තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (18) සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මහා බැංකු නිලධාරීන් ගෙන්වා කැමරා ඉදිරියේ ජනාධිපතිවරයා ඔවුන්ට සිය විධායක බලය පෙන්වීමම නාටකයක් බව හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

නිල වශයෙන් සාකච්ජාවක් පවත්වා මහ බැංකු අධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු හරි හැටි පැහැදිලි කර ගැනීමට හැකියාව තිබියදී එසේ නොකිරීම තුළ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව පැහැදිලි බව ඔහු පෙන්වා දුන්නේය.

මුදල් මණ්ඩලයේ සිටින සාමාජිකයන් දෙදෙනෙකුට ඉල්ලා අස්වීමට බල කර තිබූ අතර ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු නැවත පත් කිරීමක් ද කර නැති අතර එවන් තත්ත්වයක් තුළ මහ බැංකුවට තීන්දු තීරණ ගැනීමට සිදුව ඇති බවද  අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය.

අවසානයේ ජනාධිපතිවරයාගේ මෙම බලහත්කාරී මැදිහත් වීම හේතුවෙන් අසාධාරණයට ලක් වූ බැංකුවල තැන්පතු පවත්වාගෙන යමින් ඒවායේ පොළියෙන් ජීවත් වන ජනතාවට සිදු වූ ආසධාරණය ගැන වගකියන්නේ කවුද යන්න හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

Leave A Reply

Your email address will not be published.