අනුරාධපුරයෙන් හමුවූ කාන්තාවගෙන් කොරෝනා පැතිරීමේ අවදානමක් නෑ – සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්

අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ කාන්තාවගෙන් වෙනත් පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණයවීමේ ඉඩක් නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

කුවේට් සිට පැමිණි 36 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවීමෙන් පසු හෝමාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණි පසු ඇයට යළි වෛරසය වැලදී ඇති බවට ඊයේ තහවුරු වී තිබුණා. ඒ අනුරාධපුර රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයක දී ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ මෙවැනි සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ දී වාර්තා වූ බවයි.

නමුත් මෙවැනි රෝගීන් සම්පුර්ණයෙන් විෂබිජ හරණයකට ලක්ව ඇති බැවින් ඔවුන්ගෙන් වෙනත් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණයවීමක් හෝ රෝග පැතිරීමක් සිදුනොවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

මෙම රෝගීන්ගේ ශරිරයන් තුල තිබෙන මියගිය RMA කොටස් නිසයි ඔවුන් යළි රෝගීන් බවට පත්වන්නේ. සාමාන්‍යයෙන් සුවය ලැබූ කොරෝනා රෝගියෙකු රෝහලෙන් පිටව යාමට පෙර දෙවතාවක් PCR පරීක්ෂණයට ලක් කරනවා. මෙම කාන්තාවටත් එසේ සිදුකළා, යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

මෙම කාන්තාවගේ නිවසේ සිටින සාමාජිකයන් හෝ ආශ්‍රිතයන් නිරෝධායන ක්‍රියාවලියට ලක්කොට නොමැති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Leave A Reply

Your email address will not be published.