කොළඹ සිටින ජනතාවගේ තොරතුරු පොලීසියේ පරිගණක දත්ත ගබඩාවට

කොළඹ දිස්ත‍්‍රික්කය තුළ තාවකාලිකව පදිංචි පුද්ගලයන් ලක්ෂ 02කට ආසන්න පිරිසක් සිටින බව අනාවරණවී තිබෙනවා. ඒ, සුරකිමු ලංකා ප‍්‍රජා පොලිස් ක‍්‍රමවේදය යටතේ කොළඹ දිස්ත‍්‍රික්කය තුළ තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා පොලීසිය කි‍්‍රයාත්මක කළ වැඩසටහනකදීයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීමෙන් එම වැඩසටහන ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා සිට ආරම්භ කෙරුණේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් යුතුවයි.

ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාම නිලධාරී වසම් 160ක් තුළ තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයන් එක්ලක්ෂ 96,804දෙනෙකුගේ තොරතුරු ඒකරාශී කර ඇති බවයි පොලීසිය පවසන්නේ. එලෙස රැස් කළ තොරතුරු පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් පරිගණකගත විශේෂ දත්ත පද්ධතියක් වෙත ඇතුළත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

අදියර 03ක් යටතේ කි‍්‍රයාත්මක කෙරුණු එම වැඩසටහනේ දී  කොළඹ  දිස්ති‍්‍රක්කයේ තෝරාගත් ග‍්‍රාම නිලධාරි වසම්වල නිවාසයන්හි තාවකාලිකව පදිංචිව හෝ ලැගුම් ගෙන සිටින පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීම ප‍්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් හා පොලිස් නිලධාරීන් ඒකාබද්ධව සිදු කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.