තොණ්ඩමන්ගේ අවමංගල්‍යයට නඩු පැවරීමේ සූදානමක්?

තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවමංගල්‍ය කටයුතු සිදුවූ ආකාරය සම්බන්ධයෙන් නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

උපුල් රෝහණ මහතා පවසන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳව කනගාටුවට පත් වන බවයි.

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ හැටන් නෝර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේ දී සිදුකෙරුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.

ඊයේ  මුළු දිවයිනට ම ඇඳිරි නීතිය පනවා තිබූ අතර අවමංගල කටයුතු සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් සීමිත පිරිසකට පමණක් සහභාගිවීමට අවස්ථාව සලසා දී තිබුණි.

පසුගිය 26 වනදා ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය මහජන ගෞරවවලින් අනතුරුව රිය පෙරහැරෙන් නෝර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණය වෙත රැගෙන එනු ලැබූ අතර ඇඳිරි නීතිය නිසා දේහයට අවසන් ගෞරව දැක්වීමට නොහැකි වූ පිරිස් මාර්ග දෙපස එක් රැස්ව සිට තම නායකයාට වතුකරයේ ජනතාව පුෂෝපාහාර දැක්වීය.

හැටන් නෝර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේ පිළියෙළ කළ විශේෂ පීඨිකාවේ දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව අවමංගල්‍ය උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය අවමංගල්‍ය සභාව වෙත ඉදිරිපත් කරනු ලැබුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්  යූ. ගමගේ මහතා විසින්.

අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

සෙසු පිරිස ද දේහයට අවසන් ගෞරව දැක්වීම ඉන් අනතුරුව සිදුවුණි.

අවමංගල්‍ය චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු දේහය අදාහනය සඳහා චිතකය වෙත රැගෙන ගියේය.

Leave A Reply

Your email address will not be published.