රාජිත මතු බුදුවීමට පෙරුම්පුරයි!

රාජිත සමීපව ඇසුරු කළ පුවත්පත් කලාවේදියකුගේ මතකය

මුලින්ම දොස්තර රාජිත මහ ඡන්දයකට ඉදිරිපත් වූ විටෙක මහා පෝස්ටර කන්දරාවක් කොළඹ පුරා අලවන්නට විය. එකල පාසල් වියේ වූ අප එම පෝස්ටර් කියවා වින්දනයක් ලැබුවේ උන්නැහේ වැනි දත් දොස්තර කෙනකු ඡන්දය ඉල්ලීම එකල විශ්මයට කරුණක් නිසා ය. මහ ඡන්දයෙන් රාජිත පරාජයට පත් විය. ඒත් “දොස්තර රාජිත දිනවමු” පෝස්ටර් කොළඹ පුරා තිබුණි. එහි එක් පෝස්ටරයක මෙසේ වෙනස් කොට තිබුණේ මා යැයි වරදවා තේරුම්ගත යුතු නැත.

කොන්දොස්තර පරාජිත දිනවමු!

නමුත් පෝස්ටරයේ කලින් ඡන්දයට පෙර සඳහන් වූයේ දොස්තර රාජිත දිනවමු ලෙස ය.

රාජිතව මට මුලින් ම හඳුන්වාදුන්නේ චිත්‍රපට නිෂ්පාදක පද්මසිරි කොඩිකාර විසිනි. එවිට රාජිත හිටියේ නොරිස්කැනල් පාරේ ගේක ය. රාජිත සමග සාකච්ඡා කොට මම ලියූ ලිපියේ ශීර්ෂ පාඨය වූයේ ‘පැය තුනක් චන්ද්‍රිකා කට ඇරගෙන රාජිත ඉදිරියේ’ය. එය රාජිතගේ දේශපාලන ගමනත්, දත් දොස්තර ජීවිතයත් එක්කොට ලියූ ලිපියකි. ලිපිය කියවා රාජිතගේ බිරිඳ දොස්තර සුජාතා මට බෙහෙවින් කෘතඥ වූවා ය. මේ ලිපිය රෝහණ කුමාර තම සටන පුවත්පතේත්, වෛද්‍යවරයා සඟරාවෙත් ශීර්ෂ පාඨයෙන් අනවසරයෙන් උපුටා පළකරන ලදි. ලිපියෙන් කියැවුණේ චන්ද්‍රිකා කුමාරතුංග ගැන රාජිතගේ දේශපාලනයක් නොව චන්ද්‍රිකා ජනාධිපතිවීමට කළ දන්ත ශල්‍යකර්මයක් ගැන ය. ලිපිය පළ වන විට චන්ද්‍රිකා ජනාධිපතිනිය ය.

රාජිත පාර්ලිමේන්තුවට මුලින් ම ගියේ ඩී. බී. විජේතුංග ජනපති යුගයේ ය. නිර්මාංශ පුද්ගලයකු වූ ඩී. බී. ට හොරෙන් ජනපති මැදුරේ කෑම කන විට හොරෙන් සැමන් සම්බෝලයක් හෝ හදාගත් බව ඔහු කියූ කතාවකි. ඩී. බී. විජයතුංග යුගයේ මහජන බැංකුව ලොකුම ණය දුන්නේ යශෝධා ව්‍යාපාරයටය. යශෝධා සහ ඩී. බී. ජනපති අතර සම්බන්ධය ඇති වූ හැටි රාජිත කිව්වේ මෙසේය.

“ඩී. බී. නුවර ඉඳන් පාර්ලිමේන්තු එනකොට චූ බරක් හැදිලා. ඒ හරියේ යශෝධලගේ කඩයක් තිබුණා. කතා කරලා එතැන ටොයිලට් එකට ගියා. එතැනින් තමයි සම්බන්ධය ඇති වුණේ. අන්තිමට මහජන බැංකුවේ ටර්න්ඕවර් (turnover) එකෙන් ලොකුම ණයක් අරන් තිබේබේ යශෝධා.’’

රාජිත හොඳ පත්තර රසිකයෙකි. රාජිත වැනි පුද්ගලයන් පත්තර ලෝකයේ නිර්වචනය කරන්නේ ‘නිව්ස් ප්ලාන්ට්’ කරන්නන් ලෙස ය. වරක් මා පියාගේ කන්තෝරුව අවුස්සමින් සිටින විට අනුර බණ්ඩාරනායක සමග කළ සාකච්ඡාවක් හමුවිය. එහි ශීර්ෂ පාඨය වූයේ ‘අනුරට ජය මංගලම් – අනුර යුගදිවියට’ යන්නයි. නමුත් එම ලිපිය ලියූ පුවත්පත එවක ආණ්ඩුව සීල් තැබූ නිසා තාත්තා මේ ලිපිය ගෙදර ගෙන ගොස් තිබුණි. නමුත් එම විවාහය කෙරුණේ නැත. එම සාකච්ඡාව පදනම්කොටගෙන මම ‘අනුරගේ කඩාවැටුන මංගල සීනුව’ නමින් ලිපියක් ලීවෙමි. එම සිද්ධිය ගැන රාජිතත් හොඳින් දැන සිටි බව මා දැන ගත්තේ රාජිත ලිපිය කියවා මට ස්තුති කළ පසුව ය.

රාජිත පත්තර කර්තෘ කෙනෙකු බව බොහෝදෙනා නොදන්නා කරුණකි. පෙරළිය නමින් බොරැල්ලෙන් නිකුත් වූ දිනපතා පත්තරේ කර්තෘ වූයේ රාජිත ය. පත්තරේ භාරව කටයුතු කළේ සුජීව ගමගේ්‍ ය. සුජීව යනු ලංකාදීපයේ සඳුන් ගමගේ සහ නීතිඥ සංජය ගමගේගේ අයියා ය. මහා මැතිවරණයක් වෙනුවෙන් මුද්‍රිත මේ පුවත්පත නැවතුනේ කෙසේ දැයි දිනක් මම රාජිතගෙන් ඇසුවෙමි.

‘‘මේ මර්වින් ඇවිල්ලා වැඩේ කෑවනේ. මං නැති වෙලාවට ඌට ඕන එවා ඒකේ දාලා.’’

රාජිත සමග සාකච්ඡා කොට දන්ත වෛද්‍ය ලිපි ලිවීම මා කලක් කළ කටයුත්තකි. වරක් රාජිත සමග සාකච්ඡා කොට ‘මධුසමයට පෙර දත් දොස්තර හමුවන්නැයි’ ලිපියක් ලීවෙමි. ලිපියෙන් කියැවුණේ හනිමුන් යන්නට පෙර යුවළක් දත් පරීක්ෂා කොට ගැනීමේ වැදගත් කමයි. ඒ සන්දියේ මංගල සමරවීරගේ අනුග්‍රහයෙන් එක්ස් කණ්ඩායම ‘මාතොට’ නමින් සඟරාවක් ප්‍රකාශයට පත් කරන ලදී. විවාහය යනු ලිංගිකත්වය පදනම් වූවක් නොවන බව ‘දත් දොස්තරයා’ දැනගත යුතු බවට අමානුෂික විවේචනයක් පිටු 2ක් පුරා මාතොට පළ කළේ ලිපිය ලියූ මට ද එක්ක ය.

විජය කුමාරතුංගගේ සමීපතම මිතුරකු වූයේ රාජිත ය. රාජිත සමග කතා කරන විට විජය ගැන කතා නොකරන අවස්ථාවක් නැත.

‘මං දැකලා නෑ විජය වගේ ආකර්ෂණයක් තිබ්බ චරිතයක්. ගිය ඕන තැනක මිනිස්සු වටකර ගන්නවා. සමහර කෙල්ලෝ ගෑනු විජයගේ ඔඩොක්කුවේ ඉන්න පොරකනවා. ඒත් විජය මැරෙනකොට මැරේජ් ලයිෆ් එකක් තිබුණේ නෑ.’’

මහින්ද රාජපක්ෂ දෙවැනි වර ජනපති වූ විට ධීවර ඇමැතිවීමට ෆීලික්ස් පෙරේරා සූට් මහගෙන සිටි බව මා දැනගත්තේ දෙවැනි වරටත් රාජිත ධීවර ඇමැති වූ වෙලේ ධීවර අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන කළ කතාවේදියි.

‘‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මට හද කකියවන කතාවක් මට කිව්වා. රාජිත මට මිනිස්සු බැන්නට කමක් නැහැ. මට දුක මට හොරා හොරා කියන එක. රාජපක්ෂවරු කවදත් හොරු නෙමෙයි, රාජිත. ඒකයි මේ රටේ තිස් අවුරුදු යුද්ධයක් දිනවපු මට තියෙන වේදනාව.’’

රාජපක්ෂවරු සුනාමි සල්ලි හොරා කෑ බව වරක් කියූ රාජිතට කොළඹ ආනන්දයේ රැස්වීමකදී ප්‍රසිද්ධියේ රාජපක්ෂවරු හොරුන් නොවන බව ය. කිසිදු රාජපක්ෂවරයකු හොරුන් යන ලේබලය ගැසිය නොහැකි බව ය. මහින්ද රාජිත විරසකය ඇති වූ විට රාජිත කීවේ ඊළඟ පෝයට පෙර මහින්දට ජම්පරය ඇන්දවූ විට ලිපිනය මහින්ද රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරය බව ය. නමුත් එසේ කියූ රාජිතට දැන් මුහුණුපොතේ නක්කලය දමමින් පෝස්ට් වැටෙන්නේ රාජිත සේනාරත්න නිරෝධායන කඳවුර තමන්කඩුව ලෙස ය.

යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි යුගයේ රාජිත කළුතර නගර ශාලාවේ රැස්වීමක් අමතමින් කියුවේ යුද්ධය ජයග්‍රහණය කළ වෙලේ ජාතිය අමන්නනට මුලින් ම මහින්ද ජනාධිපති භාරදුන්නේ තමන්ට බව ය.

රෝහණ කුමාරට මඩ පත්තරකාරයා යැයි කියා අවමන් කළත් ඔහුගේ පත්තර කලාවද කපා කොටාගත් විට නොහොත් ‘මඩ’ ටික අයින් කළ විට ඔහු නිර්මාණශීලී ලේඛකයෙකි. රෝහණ කුමාරට අධිකරණවල නඩු වැටුණු විට හෝ අත්අඩංගුවට ගත් විට ඔහු පිහිට පැතුවේ රාජිතගෙන් ය. රෝහණට මරන තර්ජන තිබුණ චැනල් නයින් යුගයේ චන්ද්‍රිකා ජනපතිගේ මාධ්‍ය උපදේශකයා වූයේ නළුවෙකි. ගාමිණී ​ෆොන්සේකා මේ නළුවාව හැඳින්වූයේ ‘ඔඩොක්කු කුක්කා ලෙස ය.’ තමන්ට මරණ තර්ජන ඇති බැවින් ආරක්ෂාව ඉල්ලා ලිපියක් සෑම පුවත්පතකට දුන්නත් පළ කෙරුණේ නැත. දිනක් රාත්‍රී රෝහණත් මමත් බොරැල්ලේ මාළු නිහාල්ගේ හෝටලයේ කොත්තුවක් කන විට මට පෙනුණේ රෝහණගේ මුහුණ ආලෝකයෙන් බැබළෙනවා මෙනි. රෝහණ කුමාරට එදා රාත්‍රී මිරිහාන නිවසේ දී වෙඩි තබා ඝාතනය කරන ලදී. බොරැල්ලේ පැවති අවමංගල්‍යයේ ප්‍රධාන කථිකයා වූයේ දොස්තර රාජිත ය.

මෙරට සිටි කෘතහස්ථ දේශපාලකයකු හා ලේඛකයකු වන ටී. බී. ඉලංගකෝන් වරක් පවසා සිටියේ දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොසිටින බව ය.’’ රාජිතට නම් ඒ කියමන නියමෙට ගැළපෙන්නකි. මෙරට කලකට ඉහත පක්ෂ මාරුවට නම් දරා සිටි දේශපාලනඥයා ගී කියන කන්දේ සිය නිවසේ සිට බජට් එක හදපු රොනීද මැල් ය. ඒ රෙකෝඩ් එක කඩපු පක්ෂය අතර බල්ටි ගහපු හොඳම ‘බල්ටි අප්පුහාමි’ උපාධිය හිමි විය යුත්තේ දොස්තර රාජිතට ය. මේ නිසාම රාජිත හමුව බොහෝ මිතුරන් සුවදුක් අසන්නට පෙර ඇසුවේ ‘දැන් ඉන්න පක්ෂය’ මොකක්ද කියාය.

1993 මැයි දිනය රාජිත ගියේ බොරැල්ලේ සුපර් මාකට් ඉදිරිපිටිනි. එවකට ‘ලක්දිව’ පුවත්පත් කාර්යාලය තිබුණේ බොරැල්ලේ සුපර්මාකට් එකේ උඩුමහලක ය. රාජිත සුපර් මාකට්ටුව දෙස බලන විට සුනිල් මාධව තමන් දෙස බලා සිටිනු දැක අතින් යම් සංඥාවක් කළේය. පෙළපාළියේ සටන් පාඨ කියමින් සිටි පිරිස සුනිල් මාධව සහෝදරයාට ජය වේවායි කියද්දි ම පෙළපාළිය සීසීකඩ විසිර ගියේ බල්ලා මැරිලා – බල්ලා මැරිලා යැයි කියමිනි. එවකට සිටි ජනපතිවරයා ඒ මොහොතේ බෝම්බ ප්‍රහරයකින් මියගොස් තිබුණි.

රාජිතගේ ජීවිතයේ සිහිනය වූයේ අගමැතිවීම ය. වරක් ලසන්ත වික්‍රමතුංග ලියූ ලිපියක තිබුණේ තමන් ලබන සතියේ පිහිටුවන ආණ්ඩුවේ අගමැති ලෙස රාජිත සේනරත්න පත්වන බව රාජිත ම තමන්ට දුරකතනයෙන් දැන්වූ බව ය. රාජිතගේ ජීවිතයේ අගමැති සිහිනය නිසා මෙරට බිහි වූ ආණ්ඩු කිහිපයක් ම ඇති බව අප අමතක නොකළ යුත්තේ ඒ සංවිධානවල ‘මඟුල් කපුවා’ ලෙස රාජිත මහත් කාර්යභාරයක් ඉටුකළ නිසා ම ය. නමුත් නව අගමැතිවරයාට සුබ පතා රාජිත රොස්මිඩ් ප්ලේස් ගෙදර පෝස්ටර ප්‍රින්ට් කරගෙන හිටියත් කවදාකවත් ඒවා අලවන්නට අවස්ථාවක් උදාවූයේ නැත.

අරුණ පුවත්පතට මා වරක් විජය කුමාරතුංගගේ කසළ කළමනාකරණය’ නමින් ලිපියක් ලියන ලදී. එවර විජය ගුණ සැමරුම පැවතියේ නව නගර ශාලාවේ ය. එම උත්සවයට එවකට දොස්තර රාජිත සහ චන්ද්‍රිකා කුමාරතුංගත් ප්‍රධාන ආරාධිතයන් සේ පැමිණ සිට තිබුණි. රාජිත මට කිව්වේ චන්ද්‍රිකාට විජය ඉන්න අරුණ පුවත්පතක් පිිරිනමන ලෙස ය. මම ඔහුගේ ඉල්ලීම ඉටු කළෙමි.

රාජිත කරපු කතා අතරින් මට මතකයේ ඇති ප්‍රධාන කතාවක් නම් කලිනුත් උපුටා ගනු ලැබූ ධීවර ඇමැති ලෙස වැඩ භාරගත් දින එක කතාවකි. එදින උත්සවයට මා සහභාගි වුණේ මහ බැංකු වාර්තා පිටපතකුත් අතැතිව ය. මහ බැංකු වාර්තාවේ ධීවර අමාත්‍යංශය පාඩු ලබන බවට ඇති පරිච්ඡේදය මම රාජිතට පෙන්වූවෙමි. රාජිත එම කතාවේ පැවසුවේ තමා ඩයිනමයිට් ගසා මසුන් මැරීම තහනම් කිරීම නිසා දැන් කුඩා මසුන්ට වර්ධනයවීමට අවස්ථාව උදාවී ඇති බව ය. එමනිසා දැන් තමා ධීවර ඇමැති වූ පසු දැල්වලට හසුවන්නේ ලොකු තෝරුන්, බලයන්, මෝරුන් බව ය. ඒ නිසා ධීවරයන්ගේ අතමිට සරුවී ඇති බව ය. මේ ගැන රාජිත ඇමැතිට කෘතඥතාව පළ කරන්නට එක් ධීවරයන් පිරිසක් බැනරයක් ප්‍රදර්ශනය කොට තිබුණි. එහි සඳහන් වූයේ මෙයයි. ‘ඩයිනමයිට් ගසා මසුන් මැරීම තහනම් කළ ධීවර ඇමැති රාජිත සේනාරත්න මතු බුදු වේවා!’’

වජිර ලියනගේ

– සති අග අරුණ

Leave A Reply

Your email address will not be published.