පොළොන්නරුවේ ප්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් 8ක් හදිසි පරීක්ෂාවට

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින් 50දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (23) සවස වැටලිමට ලක් කළහ.

එහිදී දිස්ත්‍රික්කයේ ප‍්‍රධාන සහල් මෝල් වන අරලිය, නිපුන, නිව්රත්න, ලත් සහල් තවත් මධ්‍ය පරිමාණ වී මෝල් කිහිපයක් මෙහිදී පරීක්ෂාවට ලක් කෙරුණි.

ඩඩලි සිරිසේන මහතාගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ වී මෝල් ද පරීක්ෂාවට ලක් කෙරුණ අතර කොළඹ, පොළොන්නරුව, ගම්පහ, කුරුණැගල , නුවර අනුරාධපුර යන දිස්ත‍්‍රික්කවල පාරිභෝගික සේවා අධිකාරියේ  නිලධාරීන් ද මෙම වැටලීමට එක්ව සිටියහ.

එහිදි රජය පනවා තිබෙන පාලන මිලට ඉදිරියේ දී සම්බා සහ නාඩු සහල් කොන්දේසි විරහිතව වෙළද පොලට ලබා දිමට වී මෝල් හිමිකරුවන් සමග කෙරූ සාකච්ඡාවකින් පසු එකගත්වය පළකළ බව ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසිය.

මෙම පරීක්ෂාවේ දී වී සහ සහල් තොග පිළිබදවත් එවායේ නිෂ්පාදන ධාරිතාවයන් මෙන්ම දැනට ඒ ඒ වී මෝල්වල රැස් කර තිබෙන වී සහ සහල්  කොතරම් තිබේද යන්න පරීක්ෂාවට ලක්කල බව ශාන්ත දිසානායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කළේය.

ඉදිරියේ දී දිවයින පුරා ඇති වී සහ සහල් මෝල් වැටලීමට ලක්කර වෙළෙ‍ෙපොළට නිකුත් නොකර අනවශ්‍ය ලෙස රැස්කර තිබෙන වී මෝල් හිමියන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

ජනතාව ආර්ථික අතින් අපහසුවට පත්ව සිටින මොහොතක වී හෝ සහල් සගවා තබා වෙළෙදපොළේ සහල් හිගයක් මවාපැමට කිසිසේත් ම ඉඩ නොතබන බවත් කිසිදු හිගයකින් තොරව ජනතාවට අවශ්‍ය සහල් රජයේ පාලන මිලට ලබාදීමට පාරිභෝගික පිළිබද අධිකාරිය කළ හැකි උපරිම කාර්ය සිදු කරන බව ද ශාන්ත දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

තව ද පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන වී මොල්වල රැස්කර තිබෙන වී ඉතා කඩිනමින් සහල් බවට පත්කර වෙළෙදපොළට නිකුත් කරන ලෙසට ද තමා අදාළ වී මෝල් හිමිකරුවන්ට උපදෙස් දුන් බවත් ඊට ඔවුන් එකගත්වය පළකෙරූ බව ද දිසානායක මහතා කීය.

Leave A Reply

Your email address will not be published.