ජනපතිගේ පැහැදිලි හා දැඩි තීරණ ගැන ඉන්දීය අගමැතිගෙන් සුබපැතුම්

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරසය මර්දනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි චින්තකයෙකු ලෙස සහ දැඩි තීරණ ගන්නෙකු ලෙස කටයුතු කිරීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පළ කර තිබේ.

අද (23) පෙරවරුවේ ජනාධිපතිවරයා සමග පැවති දුරකතන සංවාදයක දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මෙරටට සිදුවන බලපෑම් අවම කිරීම සදහා සෑම සහයක් ම ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

රටේ ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව විසින් මෙරට සිදුකරන සංවර්ධන ව්‍යාපෘති වේගවත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

මීට අමතරව ඉන්දියාවේ පෞද්ගලික අංශයට මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී දෙරටේ නායකයන්ගේ අවධානය යොමුව තිබේ.

Leave A Reply

Your email address will not be published.