ගෝටාභය ජනපති වුණේ අනාගත දරු පරපුරේ වාසනාවටයි

පරාජය ක‍ළ කොටි ත්‍රස්තවාදය කිරි පොවා යළි පෝ‍ෂණය කළේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අව‍ධාරණය කලේ 2009 දි රණවිරුවන් දිවි පුදා රටට ලබාදුන් යුද ජයග්‍රහණය රනිල් මෛත්‍රී යහ පාලන ආණ්ඩුව විසින් ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බවයි.

දිවයින පුරා සෑම මැතිවරණ බල ප්‍රදේශයකම පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ‘‘‍‍‍‍ගම දැනුවත් කරමු – යළිත් අපි නැගිටිමු” වැඩසටහන් මාලාව පිළිබද ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයන් දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. රැස්වීම මිනුවන්ගොඩ උඩුගම්පල ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේ දී ඒ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන ප්‍රධානීහු සහභාගී වූහ.

රැස්වීමට පැමිණි සියලු නියෝජිතයන් විෂභීජානුහරණ කුටියක් හරහා රැස්වීම් ශාලාවට ඇතුළත්කරගැනීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. මුහුණු ආවරණ පැලද සිටීම අනිවාර්ය වූ අතර මීටරයක දුර ආරක්ෂා වන පරිදි රැස්වීමට ආසන පනවා තිබුණි.

ගම දැනවත් කරමු – යළිත් අපි නැගිටිමු රැස්වීම් මාලාව හරහා දිවයිනේ සියලු ම පළාත් පාලන මන්ත්‍රීවරු කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජය ගත් ක්‍රියාමාර්ග හා ජනතාවට සහන සැලසීමට ගත් පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිතයි. විශේෂ දේශකයන්ගේ සහභාගීත්වයෙන් ලබන සති අන්තයේ එම රැස්වීම් මාලාව පැවැත්වෙන අතර එම රැස්වීම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීම අනිවාර්ය කර තිබේ. උඩුගම්පල දී පසුගියදා (20) පැවැත්වුණේ එම රැස්වීම් මාලාව පිළිබද දිස්ත්‍රික් නියෝජිතයන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහනයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.

‘‘එදා වසර 30 පැවති යුද්ධය අවසන් කිරීමට රාජපක්ෂ සොහොයුරන් සමත් වුණා වගේම අද අපේ රටට බලපෑ කොරෝනා ව්‍යාප්තිය නතර කිරීමටත් මහින්ද – ගෝඨාභය සුසංයෝගයට හැකියාව ලැබී තිබෙනවා. ම්ලේච්ඡ කොටි ත්‍රස්ථවාදය පරාජය කරලා ඉතිහාස ගත වුණා වගේම ඔවුන් කොරෝනා වසංගතය පරාජය කරලා ඉතිහාස ගත වෙනවා. සෞඛ්‍ය අංශ කියන්නේ මේ වෙනකොට රටේ ජනතාව අතර කොරෝනා වසංගතය පැතිරීම පාලන කර තිබෙන බවයි. සෞඛ්‍ය අංශ වගේම ආරක්ෂක අංශ කැපවීම මෙහිදී ඉතා ප්‍රශංසනීයයි. කොරෝනා පාලන කරන අතරතුර සාමාන්‍ය ජනතාව බලාගත්ත මේ වගේ ආණ්ඩුවක් ලෝකේ වෙන කොහෙවත් නැහැ.

ඇදිරිනීතිය පනවලා කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන අතරතුර ජනතාවට අවශ්‍ය ආහාර පාන ගෙවල් ළගට ම යවන්න අපි කටයුතු කළා ඒ වගේම ආර්ථික පිඩාවට පත්වෙච්ඡ ජනතාවට රුපියල් 5000ක දිමනාවක් ලබාදීමට කටයුතු කළා. පහුගිය මාසයේ අපි මේ 5000 දිමනාව අපි පවුල් ලක්ෂ 74කට ගෙව්වා. මේ වාසෙත් අපි ඒක ගෙවනවා. ලබන මාසෙත් අපි ඒක ගෙවන්න කටයුතු කරමිනුයි හිටියේ. නමුත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් කිඹුල් කදුළු හෙළන විපක්ෂය ඒ ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඔවුන් කියලා තියෙන්නේ මේ රුපියල් 5000ක දීමනාව දෙන එක නවත්තන්න කියලයි. ජනතාවට සහන සලසනකොට ඒකට විරුද්ධ වන ලෝකේ එක ම විපක්ෂය ඉන්නේ අපේ රටේ. මේ අය කියන්නේ නම් ජනතාවට පණ වුණත් දෙන්න ලැස්තියි කියලයි. හැබැයි 5000 දෙන්න එපා කියලා මැතිවරණ කොමිසමට පැමිණිලි කරනවා. විපක්ෂය සිදු කරන්නේ දවල් මිගෙල් රෑ දැනියෙල් ප්‍රතිපත්තියයි.

මහ මැතිවරණය කියන්නේ රටේ ප්‍රජාත්‍රන්තවා දී අයිතියක්, හැබැයි එක්සත් ජාතික පක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් මහ මැතිවරණය කියන්නේ නයාට අදුකොළ වගේ. ඔවුන් හදන්නේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි මහ මැතිවරණය කල් දාලා පරණ පාර්ලිමේන්තුව නැවත රැස්කරගන්නයි. ඒකට තමයි ඔය උසාවි බඩගැවේ. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වගේම ජනතාවගේ ජන්ද අයිතියත් උදුරාගන්නැයි විපක්ෂය මේ කටයුතු කරන්නේ.

රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව කාළේ අපේ රටේ ජාතික ආරක්ෂාව තුට්ටුවට දැම්මා. උතුරු නැගෙනහිර කොටි පිල්ලි ශක්තිමත් කළා. ඒවට විරුද්ධ වුණ අයව හිරේ දැම්මා. අවුරුදු 30ක් පැවති ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න තමන්ගේ ඇස් ඉස් මස් ලේ පරිත්‍යාග කරපු රණවිරුවන් හිරේ දැම්මා. ලංකාවේ විතරක් නෙවෙයි. ජාත්‍යන්තරයෙත් කොටි ත්‍රස්තවාදය යළිත් හිස ඔසවන්න පටන්ගත්තේ මේ යහපාලන ආණ්ඩුව කාලේ. යහපාලන ආණ්ඩුවට ඕනෑ වුණේ කොටි අවශ්‍යතාව මතින් හරි නැවත බලයේ ඉන්නයි. 2015 දී බොරු කියලා ගත්ත බලය රැකගන්නයි.

මේ රටේ අනාගත දරු පරපුරේ වාසනාවට තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වුණේ මහින්ද රාජපක්ෂ මහතා නැවත මේ රටේ අගමැති වුනේ පරණ සෙල්ලං දාන්න කොටි ඩයස් පෝරාවට අපේ ආණ්ඩුව ඉඩ තියන්නේ නැහැ. එවගේම ජනාධිපති තුමා පැහැදිලිව කිව්වා රණවිරුවන් දං ගෙඩියට දක්කන්න හදන ජාත්‍යන්තර N.G.O. නඩවලටත් ඕනෑ හැටියට ඉඩ නොදෙන බව. ඒ නිසා අද රටේ ජාතික ආරක්ෂාව නැවත සුරක්ෂිතවී තිබෙනවා. රණවිරුවන් දිවි පුදා ලබාදුන් විජයග්‍රහාණයට අද නිසි වටිනාකම ලැබිලා. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මේ රට ඉහළට ඔසවා තබන්න වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. රටට ආදරය කරන සියලුදෙනාගේ ම වගකීම වන්නේ ඒ සදහා සහාය පළ කිරීමයි.

– ප්‍රදීප් අනුර කුමාර

– ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.