ලංකා වාණිජ මණ්ඩලය, සුරක්ෂිත සේවා – ස්ථාන පරිසරයක් සඳහා වූ උපදෙස් මාලාව අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි

බොහෝ දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග සේවායෝජකයන් හා සේවකයන් නැවතත් රැකියා ස්ථාන කරා යොමුකරවමින්, රටේ ආර්ථික කටයුතු යථා තත්ත්වයට ගෙනඒමට මේ වන විට රජයේ අවධානය මතුව තිබේ. එවන් පසුබිමක ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce), සේවා ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරසිටී.

මේ වනවිට ආර්ථිකය නැවත පණගැන්වී, සේවා ස්ථාන යළි විවෘත වෙමින් පවතින අතර, නැවත සංවිධානයවීමේ දී හා ව්‍යාපාර ස්ථාන ආරක්ෂා කරගැනීමේ දී අභියෝග රැසකට මුහුණදීමට සේවායෝජකයන්ට සිදුව ඇත.

එම අභියෝග පිළිබඳ විස්තර කරමින් ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා මෙසේ පැවසීය. “මැයි 11 වැනිදා සිට පෞද්ගලික අංශයේ සියලු ආයතනවල ව්‍යාපාර මෙහෙයුම් ඇරඹීමට රජය ගත් තීරණය අගය කරන අතර, එක් වරකට සීමිත සේවක සංඛ්‍යාවක් පමණක් තම ආයතන පරිශ්‍ර වෙත ගෙන්වාගැනීමට ස්වකීය අභිමතය පරිදි කටයුතු කරන ලෙස අපගේ සාමාජික ආයතනවලින් අපි ඉල්ලා සිටිනවා. ආයතන පරිශ්‍රය තුළ සමාජ දුරස්ථකරණය වඩා හොඳින් පවත්වාගැනීමටත්, පොදු ප්‍රවාහන සේවාවන්හි ඇතිවන තදබදය අවම කිරීමටත් එය ඉතාම වැදගත්. විශේෂයෙන් ම වැඩවාර සටහනක් (roaster) පවත්වාගනිමින් එක් වරක දී සේවයට වාර්තා කරන සේවකයන් ප්‍රමාණය තීරණය කිරීමටත්, නිවසේ සිට දිගට ම සේවය කළ හැකි සේවකයන්ට එසේ කිරීමට අවස්ථාව සලසාදෙන ලෙසත් අපි සේවායෝජකයන්ගෙන් ඉල්ලා සිටිනවා”.

සුපුරුදු ආයතනික පරිසරය වෙනුවට වෙනස් සේවා ස්ථාන පරිසරයක් සහිතව තම ව්‍යාපාර කටයුතු යළි ඇරඹීමට සේවායෝජකයන් සූදානම් වන මේ මොහොතේ දී, ව්‍යාපාර මෙහෙයුම්වල මූලික ගැළපුම් හා වෙනස්කම් කිහිපයක් කිරීමට ද සිදුවනු ඇත.

ඒ අනුව, සියලු සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සේවා ස්ථාන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව හා බැඳුණු මාර්ගෝපදේශනය අනුගමනය කිරීම අනිවාර්ය වේ. එහිදී සියලු සේවකයන් මුඛ ආවරණ පැලඳ සිටීම අනිවාර්ය වන අතර, නිවසේ සිට සේවය කිරීම දිරිගැන්වීමත්, දුරකතන, පෑන්, මේස සහ වෙනත් උපකරණ වැනි පොදු දෑ අන් අය සමග බෙදා හදාගැනීමෙන් වැළකී සිටීමත්, වරින් වර දෑත් පිරිසිදු කරගැනීම සඳහා සේවකයන්ට විශබීජනාශක දියර ලබාදීමත් සහ සේවා ප්‍රදේශ නිරන්තරයෙන් විශබීජහරණයට ලක්කිරීමත්  අතිශය වැදගත් ය.

Leave A Reply

Your email address will not be published.