5000 දෙනවාට මැතිවරණ කොමිසම හරස් වෙයි.. ජුනි මාසයේ නොදෙන්න රජයෙන් තීරණයක්..

කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට ගෙවනු ලබන දීමනාව ලබන ජුනි මාසයට ගෙවීම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින් එම දීමනාව ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

රුපියල් 5000 දීමනාව ජුනි මාසයේ ගෙවීම දේශාලපන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි බැවින් එය ජුනි මාසයේ ගෙවීම ගැන නැවත සලකා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බි. ජයසුන්දර මහතා වෙත ඉකුත් 17 වැනිදා ලිපියකින් දැක්වීය.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (20) දහවල් පැවැති  කැබිනට් රැස්වීමේ දී එම ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්, මෙය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින්, එය ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත්, මේ පිළිබදව කළ විමසීමේ දී රජයේ කැබිනට් ප්‍රකාශයක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ ලිපිය අනුව හැඟී යන්නේ, ලබන මාසයේ මැතිවරණ පැවැත්වීමට කොමිෂන් සභාවේ සුදානමක් ඇති බව යැයි කී ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රුපියල් 5000 දීමනාව ගෙවීම දේශපාලන ව්‍යාපෘතියක් විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවට පෙනී යන්නේ නම්, එම දීමනාව ගෙවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට රජයට අවශ්‍යතාවක් නැතැයි ද කීවේය.

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් පවුල් වෙත රජය ඉකුත් අප්‍රේල් සහ මැයි මාසයේ රුපියල් 5000ක දීමනාවක් ලබාදුන්නේ කිසිදු දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් නොවන බව කැබිනට් මණ්ඩලයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව කී ඇමතිවරයා එසේ තිබිය දී මෙවැනි ගැටලුවක් මතු වන්නේ නම් එම දීමනාව ජුනි මාසයේ ගෙවීමට රජය සුදානම් නැති බව සදහන් කළේය.

පීඩාවට පත් පවුල් සදහා රජය විසින් ඉකුත් අප්‍රේල් මාසයේ ගෙවන ලද සහ මැයි මාසයේ ගෙවන රුපියල් 5000 දීමනාව ලබන ජුනි මාසය සදහා ද ගෙවීමට රජය මීට පෙර තීරණය කර තිබිණී.

එය ජුනි මාසයේ ගෙවීම සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යවනු ලැබුවේ ඉකුත් 12 වැනිදා ය.

දෛනික ආදායම් අහිමි වූ පුරවැසියන්ගේ පවුල්වලට ආබාධිත රෝගී සහ වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අපේ‍්‍රල් මාසයේ ගෙවූ මැයි මාසයේ ගෙවන රුපියල් 5000ක දීමනාව ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප‍්‍රවර්ධනය කිරීමක් ලෙස කි‍්‍රයාත්මක වන බවට දිගින් දිගට ම පැමිණීලි ලැබෙමින් පවතින බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සිය ලිපියෙන් දක්වා ඇත.

තනි පුද්ගලයන්, සිවිල් සංවිධාන පමණක් නොව මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගෙන් ද මෙය දේශපාලන ස්වරූපයක් ගෙන ඇති බවට චෝදනා එල්ල වෙමින් තිබෙන බවත්, එබැවින් මෙම මුල්‍යාධාරය ගෙවීම කිසිදු ආකාරයක දේශපාලන ව්‍යාපෘතියක් නොවන බවට වගබලා ගත යුතු බවත්, මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා යැවූ ලිපියේ සදහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.