තුනෙන් දෙක තියා දැන් නම් ආණ්ඩුවට 113 ගන්නත් බෑ – කිරිඇල්ල

වත්මන් ආණ්ඩුවට ඉදිරි මහ මැතිවරණයෙන් තුනෙන් දෙක තියා 113වත් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් දැන් මතුව තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ ඊයේ (20) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

ගම්වලට ගොස් බැලූ විට ආණ්ඩුව පත්ව සිටින සැබෑ තත්ත්වය හඳුනාගත හැකි බව කිරිඇල්ල මහතා සඳහන් කළේය.

“මැතිවරණය තියලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ජනාධිපතිතුමා බලයට පත් වුණේ නොවැම්බර් මාසයේ. මේ වෙනකම් කරපු එක දෙයක් කියන්න පුළුවන් නම්. යහපාලන ආණ්ඩුවේ දින සීයයි මේ ආණ්ඩුවයි අහසට පොළව වගේ. අපි කොරෝනා ගැන ප්‍රශ්න කළා ම ආණ්ඩුව පිළිතුරු දුන්නේ පරිප්පුයි සැමන්වලිනුයි.”

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ආණ්ඩුවට එකතුවීමට ආරාධනා ලැබෙන තුරු බලාසිටින බව ද කිරිඇල්ල මහතා කියා සිටියේය.

එහෙත් සමගි ජන බලවේගය එවැනි තීන්දුවකට නොයන අතර ජනවරමක් ලදහොත් ආණ්ඩුවක් පිහිටුවන බව ද හෙතෙම පැවසුවේය.

එමෙන්ම ලොව කිසිම රටක කොරෝනා මර්දනය සඳහා හමුදා යොදා නොගත් තත්ත්වයක කොරෝනා මර්දනය පිළිබඳ නිසි පුහුණුවක් නොමැතිව, ආත්මාරක්ෂාව සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් නොමැතිව ඒ සඳහා නාවික හමුදා සෙබළුන් යෙදවූයේ කවුදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසා සිටියේය.

එම නාවික නිලධාරීන්, සෙබළුන් නිසි ක්‍රමවේදයකින් තොරව ගම් බිම් වෙත යැවීමට අවසර දුන්නේ කවුද යන්නට ද පිළිතුරු ලබාදිය යුතු බව ඔහු ප්‍රකාශ කරන ලදි.

“මෙවැනි අපරික්ෂාකාරි තීරණ සෞඛ්‍ය බලධාරින් අනුමත කළා යැයි කිසිසේත් විශ්වාස කරන්න බෑ. මම වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් අහන්න කැමතියි එතුමාගේ අවසරය ගත්තාද කොරොනා ආසාදිතයන් සෙවීම සදහා නාවික හමුදාව යොදවන්න. වෛද්‍යවරු අවසර දුන්නාද? කාර්ය සාධන බලකාය අවසර දුන්නාද? නැත්නම් නාවික හමුදාපති අවසර දුන්නාද? මේ ප්‍රශ්න ඉදිරියේ අද ආණ්ඩුව විත්ති කූඩුවේ සිටින්නේ. අහිංසක නාවික හමුදා නිලධාරීන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් නොමැතිව යෙදවූයේ කවුද? යන්න බෝල පාස් නොකර රජයෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා.”

මේ අතර නාවික හමුදාවේ සිටින කොරෝනා ආසාදිතයන්  සම්බන්ධව කිසිම තොරතුරක් නැති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවා නිවේදනයක් නිකුත් කර තිබුණ බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.