කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය භාරව සිටි පියතුමන් පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසම හමුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දිනට පෙර දින රාත්‍රියේ පැවති දේව මෙහෙයට තමන් විශේෂ පොලිස් ආරක්ෂාවක් ඉල්ලූ බවට කටාන හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා කර ඇති ප්‍රකාශය අසත්‍යක් බව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය භාරව සිටි ගරු ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමන් පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද ප්‍රකාශයක් ලබාදෙමින් ය.

ප්‍රහාරය නිසා ඇති වූ මානසික කම්පනය හේතුවෙන් බාහිර සමාජය හමුවට නොපැමිණි පියතුමන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ පළමු වරටයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය භාරව සිටි ගරු ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමන් අද ජනාධිපති පරීක්ෂණ කොමිසමට හමුවට පැමිණියේය.

ඒ පසුගිය සෙනසුරාදා කටාන හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෝසල නවරත්න මහතා කොමිසමට දුන් සාක්ෂිවලට අදාළව කරුණු විමසීමටයි.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා පියතුමන්ගෙන් ප්‍රශ්න කළේ කටාන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මීට පෙර සාක්ෂි දෙමින් පැවසූ පරිදි ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දේව මෙහෙයට ආරක්ෂාව ලබාදෙන්නැයි පියතුමන් ස්ථානාධිපතිවරයා දුරකතනයෙන් අමතා ඉල්ලීමක් කළේද යන්නයි.

එහිදී පියතුමන් යළි සඳහන් කළේ තමන් කිසිදු අවස්ථාවක ඔහුගෙන් ඉල්ලීමක් නොකළ බව වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බවට පූර්ව දැනුවත් කිරීමක් පොලීසිය විසින් පියතුමාට කර තිබුණේද යන්න එහිදී ජනාධිපති කොමිසම පියතුමන්ගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු ලෙස පියතුමන් පැවසුවේ එවැනි කිසිදු ප්‍රහාරයක් පිළිබඳ තමන් දැනුවත් කර නොතිබූ අතර යම් හෙයකින් එවැනි දැනුවත් කිරීමක් කර තිබුණේ නම් දිව්‍ය පූජාව අවලංගු කර තමන්ගේ ජනතාව බේරාගැනීමට අනිවාර්යයෙන් කටයුතු කරන බවයි.

Leave A Reply

Your email address will not be published.