හෝමාගම ක‍්‍රිකට් පිටිය මෝඩ වැඩක්.. ලංකාවේ දැනටමත් ඔස්ට්‍රේලියාවට වඩා පිට්ටනි තිබෙනවා..

අතිවිශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑ සංවර්ධනයට යොදවන්නැයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරින් කළ ප්‍රකාශයකට දැඩි ප්‍රතිචාරක් දක්වමිනි.

”අපේ රටේ ඇති වෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා. ඒවායින් ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගණ අද අත්හැර තිබෙනවා. අප කළ යුත්තේ එැවැනි ක්‍රීඩාංගණ දියුණු කිරීමට සැලසුම් සකස් කිරීම මිසක් අලුතින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සැදීමට අතිවිශාල මුදලක් වැය කිරීම නෙමෙයි.‍ අපේ රටේ දැනටමත් ඔස්ට්‍රේලියාවටටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති…” යි අර්ජුන රණතුංග පවසයි.

“අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා දියුණු කළ යුතුයි. විශේෂයෙන්ම පාසල්වල ක්‍රීඩාංගණ දියුණු කිරීමට මෙන් ම පාසල් ක්‍රීඩකයන්ට අවශ්‍ය ක්‍රිකට් උපකරණ ලබාදීමට අපේ අවධානය යොමු විය යුතුයි. පිති තුනකින් පමණක් ක්‍රීඩා කරන පාසල් කණ්ඩායම් කොළඹ පවා තිබෙනවා. පිට පළාත්වල දී මේ තත්ත්වය තවත් බරපතළයි. සනත් ජයසූරියලා, මුත්තයියා මුරලිදරන්ලා ඉන්නේ පිට පළාත්වල. දේශපාලනඥයන් සතුටු කරමින් අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවාට වඩා ඔවුන්ව හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට අපි උදව් කළ යුතුයි…”යි ද අර්ජුන රණතුංග පැවසීය.

”ගණන් කරලා බලන්න සමහර ක්‍රීඩාංගණවල වසරකට තරග කීයද පැවැත්වෙන්නේ. පසුගිය වසර තුනේ දී ම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ එක ම තරගයක් විතරයි. ඒ වගේම පසුගිය වසර තුනේ දී ම දඹුල්ල ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර තරග පවත්වා නැහැ. අපට දැනටමත් තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල වසරකට එක තරගයක්වත් පවත්වා නැත්නම් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමේ තියෙන ප්‍රයෝජනය මොකද්ද? කිසිම ‍ප‍්‍රයෝජනයක් ‍නැහැ. මේවා කරන්නේ දේශපාලනඥයන් සතුටු කරන්න..

ඒ වගේම මේ ක්‍රීඩාංගණය හදනවා කියලා ප්‍රකාශ කළ අවස්ථාව එවැන්නකට සුදුසු වෙලාවක් නෙමෙයි. අද නව කොරෝනා වෛරස වසංගතය නිසා ‍අපේ රටේ බොහෝදෙනා පීඩාවට පත් වෙලා තියෙනවා. එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන අය දැඩි අසරණතාවයට පත් වෙලා තියෙනවා. මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ‍අපේ ම ක්‍රීඩා ලොලින්. පාරට ගියොත් අපිට බඩගින්නේ ඉන්න අය ඕනෑ ම තැනකින් හොයාගන්න පුළුවන්. මිනිසුස් කෑම හොයා ගන්න දුක් විඳිනවා. ඒ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරන්න හදනවා. මේක‍ මෝඩ වැඩක්. මම ඇත්තට බලාපොරෝත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මෝඩ වැඩේ නතර කරන්න අවධානය යොමු කරයි කියලා…..” යි ද හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවසීය.

– තමීර මංජු

– ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.