සිරවී සිටින සියලු ම ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමට රජය කටයුතු කරනවා – ප්‍රසන්න

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්වල සිරවී ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියලු ම ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය හා ජනාධිපති කාර්යාලය මේ සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් මැද පෙරදිග රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වාගැනීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

රට තුළ කොවිඩ් 19 වසංගතය පැතිරයාම පාලනය කරන අතරම ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව දිවයිනට ගෙන්වාගැනීම රජයේ අපේක්ෂාව බව ද ඇමතිවරයා කීවේය. දිවයිනට රැගෙන එන සියලු විදේශගත ශ්‍රමිකයන් නිරෝධානයකට ලක් කෙරෙණ අතර ඒ සදහා ද දැනට ඇති පහසුකම්වලට සරිලන පරිදි මෙම ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට සිදුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමේ දී විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ රටවල තානාපති කාර්යාල මහා කොමසාරිස් කාර්යාල හරහා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් ඒ අනුව  ලියාපදිංචි විදේශගත වූ ශ්‍රමිකයන් ගෙන්වීම සදහා ශ්‍රී ලංකන් සමාගමේ ගුවන් යානා යොදවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙහි දී ප්‍රමුඛතාව ලබාදෙන්නේ  කුඩා දරුවන්, ගර්භණී හා හෘද රෝග වැනි අසනීප තත්ත්වයෙන් පත්වන අයට පමණක් බවත් නැතිනම් ලියාපදිංචි වූ පිළිවෙලට ගෙන්වීම සිදුවන බවත් පැවසු රණතුංග මහතා මේ සම්බන්ධයෙන් බාහිර බලපෑම් සිදුවන බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද කීවේය.

කුවේට් හි සිටින වීසා අවසන් වූ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීම සදහා විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා එරට විදේශ කටයුතු ඇමතිවරයා සමග සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව මුලින් කුවේට් රජය භාරයේ සිටින වීසා අවසන් වූ පිරිස දිවයිනට ගෙන්වාගන්නා බවත් ඇමතිවරයා කීවේය.

ඉන් පසු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින පිරිස් ද දිවයිනට ගෙන්වාගැනීමට නියමිතය. ඉදිරි කාලය තුළ මැදපෙරදිග රටවල් වලින් මෙන්ම මාලදිවයින, බංගලිදේශය ඇතුළු විවිධ රටවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙල දැනටමත් විදේශ කටයුතු අමාත්‍යංශය හා ජනාධිපති තාර්යාලය සකස් කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ වන විට එම රටවල මුහුණපා ඇති අසීරු තත්ත්වය පිළිබදව රජයට අවබෝධයක් ඇතැත් ඔවුන්ව ගෙන්වාගැනීමේ දී රට තුළ පවතින තත්ත්වය ද සැලකිල්ලට ගෙන කටයුතු කිරීමට සිදුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.