නාම යෝජනා ප්‍රතික්ෂේපවීමට එරෙහිව ඥානසාර හිමිගෙන් පෙත්සමක්

“අපේ ජන බල පක්ෂය” විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එම දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා ගත් තීරණය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු එම පක්ෂයෙන් කුරුණැගල දිස්ත්‍රික්කයට නාම යෝජනා භාරදුන් අපේක්ෂකයන් විසින් පෙත්සම ඉදිරිපත් කළ බවයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ අපේ ජනබල පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ අන්තර්ගත දිවුරුම් පෙත්සමක පවතින බව කියන දෝෂයක් හේතුවෙන් එය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා කටයුතු කළ බවයි.

මැතිවරණ නීතියට අනුව එවැනි කරුණු සම්බන්ධයෙන් නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.

එමෙන්ම පෙත්සම් විභාගය අවසන් වනතුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, ප්‍රතික්ෂේප කළ සිය නාමයෝජනා පත්‍රය යළි භාරගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

– දෙරණ

Leave A Reply

Your email address will not be published.