පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවට අදාළ පෙත්සම් විභාගය කල් යයි

පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවට අදාළව ගොනු කර ඇති පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 02 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇතිඑම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට මීට පෙර නියම කර තිබුණි.

කෙසේවෙතත් පෙත්සම් අද බුවනෙක අලුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ බවයි වාර්තා වන්නේ.

එහිදී පෙත්සම් සැප්තැම්බර් මස 02 වනදා සිට අඛණ්ඩව දින 3ක් විභාගයට ගැනීමට නියෝග කළ විනිසුරු මඩුල්ල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ ලේඛන ඇත්නම් ඒවා ඔහුගේ නීතිඥවරයාට භාරදීමට පියවර ගන්නා ලෙස ද පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීමෙන් මූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් ප්‍රහාරයෙන් අගතියට පත්වූ පාර්ශ්ව 12ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Leave A Reply

Your email address will not be published.