රාජපක්ෂලාට, පීබීට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට අයිතියක් නෑ – පාඨලී

රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට වගකිව යුතු රාජපක්‍ෂවරුන්ට හා ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට රජයේ සේවකයන්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් හෝ සදාචාරයක් නැතැයි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ දී ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජයසුන්දරලා විසින් රාජපක්ෂලා වෙනුවෙන් තැනූ ආර්ථික ටයිටැනික් නැව, මූල්‍ය අර්බුදය නම් පවුරේ වැදී ගිලෙමින් තිබියදී රාජපක්ෂ පවුලේ අය ලොස් ඇන්ජලීස් බලා යන ප‍්‍රිජට් යුද නැවකට ගොඩවී, වැඩකරන ජනයාට හම්බන් ඔරුවලට නගින්නැයි කීම විහිළුවක් බව ද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට මහ බැංකුවේ විධායක නිලධාරියෙකු ලෙස ලැබෙන විශ‍්‍රාම වැටුප, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස ලැබෙන විශ‍්‍රාම වැටුප හා ජනාධිපති ලේකම් ලෙස ලැබෙන වැටුප ඇතුළුව වැටුප් තුනක් තිබුණත් සෑම රාජ්‍ය සේවකයෙකු ම වැටුප් තුනක් ලැබීමට වාසනාවන්ත නැතැයි ද මන්ත‍්‍රීවරයා පැවසීය.

රටේ පවතින මූල්‍ය අර්බුදයට හා ආර්ථික අර්බුදයට වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම සදාචාර නොවන ක‍්‍රම මගින් ධනය උපයන ව්‍යාපාරිකයන්ට, ඇති හැකි අයට දුන් බදු සහන, අන්තර්ජාතික වෙළෙඳාම හරහා ලැබෙන බදු ආදායම් අහිමි වීම ආදිය ද හේතු වී ඇතැයි කී පාඨලී චම්පික රණවක මහතා ආර්ථික අවපාතයක් තිබියදීත් රාජපක්ෂ රජය සිය පැරණි දුර්වල ආර්ථික ප‍්‍රතිපත්ති හා ආර්ථික මංකොල්ලය ඉදිරියට ගෙනයමින් සිටින බව ද පැවසීය.

Leave A Reply

Your email address will not be published.