ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට කොරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි තහවුරුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ගතවූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයින් අතර සෞඛ්‍ය අමාත්‍යවරයාද සිටින බවයි. ඇෆ්ගනිස්ථානයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 3,563ක් සහ මරණ 106ක් වාර්තා වනවා.

මේ අතර කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අපි‍්‍රකාවේ පුද්ගලයින් එක් ලක්‍ෂ 90,000 මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කඩිනම් පියවර නොගතහොත් කොරෝනා වෛරසයේ පළමු වසර තුළදී අපි‍්‍රකානුවන් මිලියන 29ත් 44ත් අතර සංඛයාවකට වෛරසය ආසාදනය වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අද කියාසිටියේ කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයත් සමග වෛරයේ සහ ද්වේශයේ සුනාමියක් ඇති වී තිබෙන බවයි. වෛරී කි‍්‍රයාමාර්ග සහ ප‍්‍රකාශ පරාජය කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මෙහිදී පවසා තිබෙනවා. ඔහු මෙම අදහස් පළ කළේ වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අමෙරිකාව, චීනයට දිගින් දිගටම චෝදනා කරමින් සිටින පසුබිමකයි.

මේ අතර රටම වසා දමා ඇති අවස්ථවේ සංක‍්‍රමණික කම්කරුවන් 15දෙනෙකු දුම්රියකට යටවීමෙන් ජීවිතක්‍ෂයට පත් වූ පුවතක් ඉන්දියාවෙන් අද වාර්තා වුණා.

කොරෝනා වෛරසය හේතුවෙන් දුම්රිය ධාවනය අත්හිටුවා ඇති පසුබිමක දුම්රිය ධාවනය නොවනු ඇතැයි සිතා ඔවුන් දුම්රිය මාර්ගය මත නිදාගෙන සිට තිබෙනවා. ඔවුන් යටකර ධාවනය වී ඇත්තේ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රියක්.

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 56,516ක් දක්වා අද ඉහළ යද්දී පකිස්තානයෙන් ද දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ගතවු පැය 24 වාර්තාවී තිබෙනවා. එම සංඛ්‍යාව 1,764ක්.

මේ අතර දෙවන ලෝක යුද්ධය අවසන්වී 75 වන සැමරුම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් අද යුරෝපය පුරා කි‍්‍රයාත්මක වූයේ කොරෝනා වෛරසය හේතුවෙන් පැනවූ දැඩි සීමා මධ්‍යයේයි.

මේ අතර මෙම වසරේ ඉතිරි කාලය ද සිය සේවකයන්ට නිවසේ සිට රාජකාරී කිරීමට ඉඩ ලබාදීමට ෆේස්බුක් සහ ගූගල් සමාගම් අද තීරණය කළා.

Leave A Reply

Your email address will not be published.