දඹුල්ල පන්සලේ වැවේ නාඳුනන මළ සිරුරක්

දඹුල්ල පූජා භූමි ප්‍රදේශයේ පන්සලේ වැවේ තිබී නාඳුනන සැක කටයුතු ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක් අද (08) පෙරවරුවේ දඹුල්ල පොලීසිය සොයාගෙන තිබේ.

දඹුල්ල පොලීසියට ලැබුණු දුරකතන ඇමතුමක් මත පරීක්ෂාකර බැලීමේ දී උඩුකය නිරුවත්ව වැවේ උඩුබැලි අතට පාවෙමින් තිබූ දින දෙකක් පමණ පරණ මළසිරුරක් මෙසේ සොයා ගත් බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.එදිරිසිංහ මහතා පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇතැයි පොලීසිය කියයි.

මළ සිරුර ඇති ස්ථානයේ සිට මීටර් කිහිපයක් දුරින් මෙම පුද්ගලයාගේ බවට සැකකෙරෙන ටී සර්ට් එකක් කොට කලිසමක් සබන් පෙට්ටියක් දත් බුරුසුවක්  සොයාගත් බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා දියනෑමට ගිය ආකාරයට ඒවා තිබුණ ද දිය ආසන්නයේ නැතිව වැව් බැම්ම උඩ බුරුසුව සබන් පෙට්ටිය ඇඳුම් තබා තිබීම පිළිබඳව සැකයක් මතුවන බවත් පොලීසිය පවසයි.

එමෙන්ම දඹුල්ල පොලීසියට අනුබද්ධ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ද මෙම මළ සිරුර පරීක්ෂා කොට බැලීමේදී සැක සහිත වූ කරුණු කාරණා රැසක් මතුවන බව ඔවුහු පවසති.

මියගිය පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙද වූ බවත් මෙම මළ සිරුර සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද පොලීසිය කියයි.

පන්සලේ වැව ආසන්නයේ පදිංචිව සිටි පිරිස් කියා සිටියේ, මීට දින දෙකකට ඉහත දී වැව් බැම්ම මත මෙම ඇඳුම් තිබෙනු දැක ගැනීමට හැකි වූ බව ය.

මෙය දිය ගිලි සිදුවූ මරණයක් ද  වෙනස් මිනිස් ක්‍රියාකාරකමක් මත සිදු වූ සිද්ධියක් ද යන්න සොයා වෙනම පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි පොලීසිය කියයි.

Leave A Reply

Your email address will not be published.