දෛනික කටයුතු ආරම්භ කිරීමේ දී වෛරස ව්‍යාප්තිය වළක්වාගන්නේ කෙසේද?

මැයි 11 වන සඳුදා ඇඳිරි නීති රෙගුලාසි ඉවත් කිරීමෙන් අනතුරුව දෛනික කටයුතු ආරම්භ කිරීමේ දී වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගන්නේ කෙසේද?

මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

දැනට පවතින ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කර එළඹෙන මැයි 11 වෙනිදා කාර්යාලයීය කටයුතු යළි ආරම්භ කිරීම සඳහා රජය සැලසුම් කර ඇති බවට නිවේදනය කෙරුණි.

ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කර දෛනික කටයතු ආරම්භ වීමත් සමග වෛරස ව්‍යාප්තිය වැළැක්වීම මෙන්ම ඔබ අසාදිතයෙකු බවට පත්වීම වළක්වාගැනීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද රැසක් රජය ප්‍රකාශයට පත් කර තිබේ.

නිවසින් බැහැරට යන සෑම අවස්ථාවකදීම මුඛ ආවරණ පැලඳීම, නිරන්තරයෙන් සබන් හෝ අත් සේදීමට විශේෂයෙන් සකස් කළ දියර වර්ගයක් යොදා දෑත් පිරිසිදු කරගැනීම ඒ අතර අත්වශ්‍ය ම කාරණයක් බවට පත්වෙයි.

එමෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිත කරනවිට නියමිත දුර ප්‍රමාණය පවත්වාගැනීම ද අනිවාර්ය වන අතර ඒ සඳහා වන නව රෙගුලාසි ඉදිරියේ දී රජය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ඔබ ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස ඔබේ සේවය සපයන අයෙක් නම් එක් අවස්ථාවක ඔබේ රථයට නංවාගන්නා මගී සංඛ්‍යාව දෙදෙනෙක්ට සීමා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙයි.

ඔබ කාර්යාලයට යාම සඳහා සැරසීමේදී උදෑසන අවදි වී පිරිසිදුවීමෙන් අනතුරුව කාර්යාලය සඳහා සුදුසු පහසු ඇඳුමක් ඇඳගත යුතුයි.

නිවසින් බැහැරවීමට පෙර මුඛ ආවරණය පැලඳීම ඔබ අනිවාර්යෙන් ම කළ යුත්තක්.

විවිධ විලාසිතාවලින් යුතු ආභරණ හා ආයිත්තම් පැලඳීම ඔබ නොකළ යුතු අතර අවශ්‍ය ම දෑ පමණක් කාර්යාලයට රැගෙන යාමට වගබලා ගත යුතු වෙයි.

කාර්යාලය පරිශ්‍රයට ඇතුළු වන ඔබ, හොඳින් අත සෝදා විෂබීජහරණය සිදුකර ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතුයි.

විදුලි සෝපානය භාවිත කිරීමේදීත් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර දුරස්ථභාවය රැකගනිමින් එහි ගමන් කිරීම ඉතාම වැදගත්.

කාර්යාලයට ඇතුළුවීමේ දී විෂබීජනාශක දියර යොදා නැවත අත් පිරිසිදු කර ගත යුතු වෙයි.

වැළමිට යොදාගනිමින් මෙලෙස කාර්යාල දොර විවෘත කිරීමට හැකියාව පවතියි.

රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර විෂබීජනාශක දියර යොදා කාර්යාලීය උපකරණ හා ඔබ දෛනිකව භාවිත කරන දෑ පිරිසිදු කර ගත යුතුයි.

කාර්යාලයේ දී, තමන්ගේ භාවිතයට පමණක් කෝප්පයක් භාවිත කිරීමට වගබලා ගැනීම ද අනිවාර්ය කරුණක් වෙයි.

ආහාර ගැනීමේදීත් දුරස්ථභාවය රැක ගතයුතු වන අතර තනිවම ආහාර ගැනීම වෛරසය ආසාදනයවීමෙන් වැළකී සිටීමට රුකුලක් වනු ඇති.

කාර්යාල රැස්වීම් පැවැත්වීමේදීත් දුරස්ථභාවය රැකගනිමින් එය සිදු කිරීමට අමතක නොකළ යුතුයි.

කාර්යාලයෙන් පසු නැවත නිවසට පැමිණීමට පෙර ඔබ අත සේදීම අනිවාර්යෙන් ම සිදු කළ යුතු වෙයි.

එමෙන්ම, නිවසට ඇතුළුවීමට පෙර පාවහන් පිටතින් ගලවා ඇඟ පිරිසිදු කරගැනීමෙන් පසු නිවස තුළට ඇතුළුවීමෙන් කොවිඩ් 19 වෛරසයෙන් ඔබත් ඔබේ පවුලේ සාමාජිකයන් ද ආරක්ෂා කර ගත හැකියි.

එමෙන් ම නිෂ්පාදන කර්මාන්තශාලාවල කටයුතු ආරම්භ කිරීමේ දී ද අත්‍යවශ්‍ය සේවක කණ්ඩායම් පමණක් එම කටයුතුවලට සහභාගී කරගැනීම ද කර්මාන්තශාලා ප්‍රධානීන්ගේ වගකීමක්.

එම නිශ්පාදන ක්‍රියාවලියට සහභාගීවන සේවකයින් ද ශාරීරික දුරස්ථභාවය පවත්වාගනිමින් මෙන්ම සියලු ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට මුල්තැන දෙමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි.

මහාමාර්ග, බස්නැවතුම්පොළ තුළ හැසිරීමේදීත් ශාරීරික දුරස්ථභාවය පවත්වාගැනීම වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඔබ අනුගමනය කළ යුතු ම ක්‍රියාමාර්ගයක්.

– Derana

Leave A Reply

Your email address will not be published.