ජනාධිපති ලේකම්ගේ ඉල්ලීම ගැන ඇතැම් විවේචන දැඩිව හෙළා දකිනවා – බන්දුල

රාජ්‍ය සේවකයන්ට මැයි මාසය සඳහා ලබාදෙන වැටුප හෝ ඉන් කොටසක් රටේ පවතින තත්ත්වය හමුවේ රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා කළ ආයාචනය සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් සිදුකරන විවේචන දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (08) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, ජනාධිපති ලේකම්වරයා විසින් පුද්ගලික ආයාචනයක් රාජ්‍ය අංශයේ ආයතනික ප්‍රධානීන් වෙත මෙය නිකුත් කර ඇති බවයි.

ඉතා පැහැදිලි ලෙස එම ලිපියේ “පුද්ගලික ආයාචනයක්“ යන්න සඳහන් කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, වැන්දඹු හා අනද්දරු අරමුදලට දායක වන ලෙස එහි සඳහන් කර තිබූ බවත් මෙහිදී පැවසීය.

එවැනි ආයාචනයක් සිදු කිරීමට ජනාධිපති ලේකම්වරයාට අයිතියක් ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, එයට විරුද්ධ අයෙකුට එය නොගෙවා සිටිය හැකි බව ද කියා සිටියේය.

පරිත්‍යාගයක් කිරීම යන කරුණු මත ඒ මහතාව “දඩු කඳේ ගසා“ ඇතැයි ද පැවසූ බන්දුල ගුණවර්ධන මහතා, මෙය ඉතා අසාධාරණ තත්ත්වයක බව ද පැවසීය.

මේ වන විටත් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් මෙවැනි ඉල්ලීමක් නොමැතිව ද මෙම පරිත්‍යාගය කර ඇති බවත්, දේශපාලන න්‍යාය පත්‍රයන් අනුව මෙවැනි මඩ ගැසීම රජය ලෙස දැඩිව හෙළා දකින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.