ජනපතිගේ සහ අගමැතිගේ වෙසක් දින පණිවිඩ

බොදු වත්පිළිවෙත් සේම කොරෝනා නිවාරණ පිිළිවෙත් ද පිළිපදිමින් රටත්, ජනතාවත් සුවපත් කිරීමට මෙම පින්බර වෙසක් පොහෝ දිනයේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

වෙසක් පුන් පොහෝ දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය උපයෝග කර ගනිමින් පැවැත්වීමට මහා සංඝරත්නයේ මගපෙන්වීම සහ ආශිර්වාදය ලැබී තිබෙන බවයි.

මේ නිසා නිවසේ සිට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි උපන් ශ‍්‍රද්ධාවෙන් යුතුව ආගමික වතාවත්වල නිරතවීමට අපට හැකි බවයි ජනාධිපතිවරයා සිය වෙසක් පුන් පොහෝ දින පණිවිඩයෙන් දක්වා ඇත්තේ. ලොව පුරා බොදුනුවන්ට සේම අපට ද මෙවර වෙසක් උළෙල නිමිත්තෙන් වත්පිළිවෙත් කිරීමට සිදුව ඇත්තේ මානව සංහතියම බරපතළ වසංගතයකට මුහුණ පා ඇති මොහොතකයි. මෙබඳු විපත් මිනිස් ඉතිහාසයේ විරළ නොමැති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. බුදු දහමේ ඉගැන්වෙන ප‍්‍රතිපදාවන් අනුගමන කරමින් අපට ද වෙසක් සමයේ නිරෝගී සුවය සහ අධ්‍යාත්මික සහනය අත්කර ගත හැකි බව තමන්ට විශ්වාස බව ජනාධිපතිවරයා නිකුත් කළ වෙසක් පුන් පොහෝ දින පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

—————————-

මේ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අදට යෙදෙන වෙසක් පොහොය දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඇඳිරි නීතිය හෝ සෞඛ්‍යමය නීති රීති ධර්මානුකූල ජීවිතයට කිසිඳු බාධාවක් නොවන බවයි.

අකුසලයෙන් දුරුවීමටත්, සියලු කුසල් වැඩීමටත්, උද්ගතව ඇති වාතාවරණය කිසිදු බාධාවක් නොවන බවයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය වෙසක් පොහෝ දින පණිවිඩය මගින් දක්වා ඇත්තේ.

වෙසක් මංගල්‍යය මෙවර සැමරීමට සිදුව ඇත්තේ කොරෝනා වසංගතයට ශ‍්‍රී ලංකාව සේම ලෝකය ම එක සේ මුහුණ දී ඇති තත්ත්වයක් යටතේයි.

දැඩි කැපකිරීමෙන්, ඉවසීමෙන් හා බෞද්ධයාට හිමි උපේක්ෂාවෙන් යුතුව කටයුතු කිරීම නිසා ලංකාවාසී ජනතාව එම වසංගතයෙන් මුදාගැනීමේ ජයග‍්‍රහණය අත්පත් කර ගැනීමට ආසන්න බවයි අග‍්‍රාමාත්‍යවරයා නිකුත් කළ වෙසක් පොහෝ දින පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave A Reply

Your email address will not be published.