ග‍්‍රාමීය ප‍්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලේ

දෛනික ජන ජීවිතය සහ ආයතනික කි‍්‍රයාකාරීත්වය යථාතත්ත්වයට පත් කිරීමේ සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබෙනවා. ඒ, පළාත් ආණ්ඩුකාරවරුන් සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් සමග ඊයේ (05) පස්වරුවේ පැවැති සාකච්ඡාවක දී යි.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුව රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සියලූ සේවා ආරම්භ කිරීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

ආයතන කි‍්‍රයාකාරීත්වය පිළිබඳ සවිස්තරාත්මක සැලසුම් සෞඛ්‍ය අංශවලට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නා.

පොදු ප‍්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක‍්‍රමවේද අනුගමනය කරමින් පවත්වා ගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. කාර්යය මණ්ඩලවලට ප‍්‍රවාහන සේවා සැපයීමේ දී ඒ ඒ ආයතනවල සුබසාධන සංගම් සමග එක්ව සැලසුම් කිරීමේ හැකියාව ද, ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ආයතන පවත්වාගෙන යාමේ දී සේවක සංඛ්‍යාව තීරණය කිරීම, සේවාවන් අඩාල නොවන ආකාරයෙන් සිදුවිය යුතුයි. ආයතනයක ව්‍යුහය අනුව සේවා මුර තීරණය කළ හැකි වනවා. සේවයට වාර්තා කිරීමේ වේලාව නියමයක් ලෙස නොගෙන ආයතනයක අවශ්‍යතාව මත නිර්ණය කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්දේශ මත ග‍්‍රාමීය ප‍්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරුණා. එහිදී ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය ආශ‍්‍රිත ගැටලු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ලබන 11 වනදා සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කෙරෙන දිස්ති‍්‍රක්කවල සංවර්ධන මෙහෙයුම් ආරම්භ කළ හැකියි.

වැඩබිම් සහ ආයතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඍජු අධීක්ෂණයට ලක් කිරීමටයි තීරණය කර ඇත්තේ. මී උණ සහ ඩෙංගු වැනි රෝග ආශි‍්‍රතව ඉදිරියේදී පැන නැගිය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී අදාළ අංශ වෙත දැනුම් දී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.