බූරු ගැහුවේ නෑ.. සෙල්ලමට කාඩ් ගැහුවා.. – නාවලපිටිය නගර සභාවේ සභාපති

ගිනිගත්හේන පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවලපිටිය නගර සභාවේ සභාපති සහ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සසංක සම්පත් සංජීව ඇතුළු අටදෙනෙකු රු. ලක්ෂයක ශරීර ඇප මත අද (06) දින මුදා හැර යළිත් මෙම නඩුව 2020.07.06 දින කැදවීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා නියෝග කළහ.

සැකකාර සභාපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ඉකුත් මස 30 දින ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක හෝටලයක නිරෝධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් මුදලට සූදු ක්‍රිඩාවේ යෙදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල, ගිනිගත්හේන පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර සැකකරුවන් අධි සුපෝගභෝගී ජීප් රථයක් සහ මොටර් රථයක් සමග අත්අඩංගුවට ගෙන ගිනිගත්හේන පොලීසිය බී 29860 වාර්තාව යටතේ යටතේ සැකකරුවන්  මේ මස 1 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු අටදෙනෙකු අද (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර බන්ධනාගාර නිලධාරීන් හරහා සැකකරුවන් මහනුවර ශික්ෂණ රෝහල වෙත ඉදිරිපත් කර පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර එහි වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙස හැටන් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

අද (06) දින සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ගිනිගත්හේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයංක කරුණාදාස මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් අධි සුපොගභෝගෙී වාහන දෙක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන නිසා සැකකරුවන් තවත් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කර බන්ධනාගාර නිලධාරීන් හරහා සැකකරුවන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කරන ලෙසයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයන් නිරෝධායන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවත්, සැකකරුවන් මුදලට සූදු ක්‍රීඩාවේ යෙදුණේ නොමැති බවත්, සැකකරුවන් කාඩ් සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මුදා හරින ලෙසට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියහ.

දෙපාර්ශ්වයෙන් ම කරුණු සලකා බැලූ හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන්ව පී.සී.ආර්. පරීක්ෂණයක් සදහා ඉදිරිපත් කර අද (06) දින එහි වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත්, එම වාර්තාව අනුව සැකකරුවන්ට කොවිඩ් 19 වෛසරය අසාදනයවී නොමැති නිසා සැකකරුවන් යළිත් නිරෝධානයකට යොමු කිරීමට අවශ්‍ය නොවන බවයි.

අධිකරණයේ පිටතට පැමිණි නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව මහතා කියා සිටියේ  තමන් අත්අඩංගුවට ගැනීම දේශපාලන අවශ්‍යයතාවක් මත සිදු වූවක් බවයි.

තමන් රක්ෂිත බන්ධානාගාරව සිටිය දී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙමින් සිටියදී මස්කෙලිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන එදින ම පොලිස් ඇප මත මුදා හැර ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

මූලාශ්‍රය – ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.