මා මැතිවරණ රාජකාරිවලින් ඉවත්වීම හැර විකල්පයක් නෑ.. ඔබ සැමට ආයුබෝවන්..- මැ.කො. සභාපති

තම පුත්‍රයා විසින් යොමු කරන ලද ලේඛන අදාළ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් හා ඔවුන්ගෙන් විමසීමෙන් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ලෙස නොකළ යුත්තක් කර ඇත්තේ නම් දැන් කළ යුතුව කළ හැකිව ඇත්තේ මැතිවරණ මෙහෙයුම් රාජකාරිවලින් පසෙකටවීම හැර වෙනත් විකල්පයක් නැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

තම පුත‍්‍රයා විදේශ රටක සිට මෙරටට ගෙන්වාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ සහයෝගය ලබාගත්තේ යැයි පළවන වාර්තා සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.

අදාළ සම්පූර්ණ සටහන මෙහි දැක්වෙයි.

අධ්‍යයන කටයුතු සදහා විදේශගතව සිටි මගේ පුත්‍රයා වන විදුර කාශ්‍යප දේශප්‍රිය ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සදහා මගේ නිලතත්වය භාවිත කර මා අයුතු බලපෑමක් කර තිබේ යනුවෙන් මට චෝදනාවක් එල්ල කර තිබේ. ඒ පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියකට (කලම්බු ටෙලිග්‍රාෆ්) පෝස්ටුවකට මා ලියූ සටහන පහත අලවමි .

#### මගේ පුත්‍රයා නෙදර්ලන්ත රාජ්‍ය ශිෂ්‍යත්වයක් මත මාස 18 ක පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා එය මාර්තු මස අග අවසන්වීමෙන් පසු, ගුවන් ගමන් අත්හිටුවීම නිසා ශ්‍රී ලංකාවට පැමීණීමට නොහැකිව සිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකුවූ මාගේ පුත්‍රයා විදුර කාශ්‍යප දේශප්‍රිය අද 2020 මැයි 06 දින අලුයම කටුනායකට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ලංකාවට පැමිණියේය.

ඔහු සමග එකට සිටි තවත් රජයේ සේවයේ නියුතු ඉංජිනේරුවන් සිවුදෙනකු ඒ සමග පැමිණීමට අපේක්ෂා කළ ද ඉන් අයකුගේ අධ්‍යයන කටයුතු අවසන් නොවීම නිසා ඔහු සමග නෙදර්ලන්තයේ සිට පැමිණියේ තවත් ඉංජිනේරුවන් තිදෙනකු පමණි.

මාගේ පුත්‍රයා ලංකාවට ගෙන්වාගැනීම සදහා මවිසින් ගරු ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර විශේෂ යානයක් වෙන් කරවාගෙන තිබේ දැයි මැයි 04 දින උදෑසන අපගේ පවුලේ මිතුරකු වූ රජයේ නිලධරයකුගෙන්, පුද්ගලයින් තිදෙනකු වෙන වෙන ම අවස්ථා තුනක දී විමසූ බව, විදුර 05 දා ඇම්ස්ටර්ඩෑම් හි සිට ලන්ඩන් වෙත ගොස් එහි සිට මෙහි පැමිණෙන බව මා විසින් ඔහුට දැන්වූ විට මා සමග ප්‍රකාශ කළේය.

එමෙන් ම අද දින ඉ – පුවත්පතක මාධ්‍යවේදියකු, මාගේ පුත්‍රයාගේ පැමිණීම ගැන ලිපියක් ප්‍රසිද්ධ කිරීමට අපේක්ෂා කළ විට දී එය පළ කිරීමට පෙර ඒ ගැන මා විමසීම මැනවි යයි මේ සටහන ලියන මාගේ මිතුරා ඔහුට දන්වනුු ලදුව ලිපිය සැකසීමට අපේක්ෂිත එම මාධ්‍යවේ දී මහතා විසින් ඒ හා සබැදි කරුණු මගෙන් ඉ – තැපැල් ලිපියකින් විමසන ලදී මගේ පුත්‍රයා ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මා ගරු ජනාධිපතිවරයා වෙතින් යම් ඉල්ලීමක් කළේ ද යන්න සහ ඒ වෙනුවෙන් විශේෂ ගමනක් සංවිධානය වූයේ ද යන්න එයින් විමසා තිබිණි. මම එයට පිළිතුරු දුනිමි.

එමෙන් ම මා දන්නා හඳුනන සැලකිය යුතු මිතුරන් සංඛ්‍යාවක් ද මේ ගැන සාකච්ඡා කරන බව, ඉන් සමහරදෙනකු සෘජුව ම මගෙන් මේ ගැන විමසන හෙයින් නිරීක්ෂණය වේ.

එහෙයින් මේ සිද්ධියට අදාළ කරුණු මතු සදහන් කරමි .

1. ඔවුන් පැමිණෙන්නේ ඔවුන් සඳහා ම විශේෂයෙන් යොදවන ලද යානයක නොවේ. මා දන්නා පරිදි එංගලන්තය ද ඇතුළු මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අමෙරිකාවේ ශ්‍රී ලංකා ශිෂ්‍යයන් හා රාජ්‍ය නිලධාරීන් ද එංගලන්තයට පැමිණ එමගින් ගමන් පහසුකම් ලබාගත හැකි සෙසු ශිෂ්‍ය / නිලධාරීන්ට ද එමගින් අවස්ථාව ලබාගත හැකිව තිබුණි.
2. අධ්‍යායන කටයුතු අවසන්වී දිවයිනට පැමිණීමට අපේක්ෂිත රාජ්‍ය නිලධාරීන් ලෙස ඔවුන් නෙදර්ලන්තයේ තානාපති කාර්යාලයේ හා එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයේ ද විදේශ කටයුතු අමාත්‍යංශයේ ද ලියාපදිංචිවී තිබිණි.

3. ඔවුනට ලංකාවට පැමිණීම සදහා පහසුකම් සලසා දෙන ලෙස තානාපති කාර්යාලය හරහා ද සෘජුව ද මේ පිළිබඳව කටයුුතු කරන රාජ්‍ය නිලධාරීන්ට අමතා ඔවුන් විසින් ලිපි කිහිපයක් ම ඉදිරිපත් කරන ලදි.

4. මේ සම්බන්ධයෙන් මාගේ මැදිහත්වීම වූයේ මාගේ දුරකතනයට ලද ලිපිවල මුද්‍රිත පිටපත් / මෘදු පිටපත් අදාළ පරිදි අග්‍රාමාත්‍ය ලේකම්, විදේශ කටයුතු ලේකම්, විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වාගැනීමේ මෙහෙයුම භාර ජනාධිපති අතිරේක ලේකම් යනාදී නිලධාරීන් වෙත යැවීම හා ඒවා ලද බව සනාථ කරගැනීමයි. එමෙන් ම මොවුන් ගෙන්වාගැනීමට අපහසුතා තිබේද යන්න ද මවිසින් විමසන ලදි.

ඒ අතරතුර ලන්ඩන් හි දවසක් රැඳී සිටීමට සිදුවන්නේ නම් වීසා ලබාගැනීමට අදාළ ගැටලුවක් පිළිබඳව හා විදුරගේ ඖෂධ අවශ්‍යතා ගැන නෙදර්ලන්ත තානාපතිවරයාට ද මම කතා කළෙමි.

5. මැයි 05 දිනයේ දී ⁣ මා, ගරු ජනාධිපතිවරයාට මෙවැනි කතාවක් පැතිරෙන බව දන්වන තෙක් මාගේ පුත්‍රයා ආපසු ගෙන්වාගැනීම ගැන මා කිසිවිටෙක ගරු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර නැති අතර එතුමා ද මේ ගැන විමසා නැත. එසේ වුව ද මා විසින් එතුමාගේ විශේෂ සහායක් ලබාගෙන අපගේ පුත්‍රයා ගෙන්වාගන්නා බවට 04 දා සිට කතාවක් පැතිරෙන බව එතුමාට ඊයේ මැයි 05 දැන්වීමි. මාගේ පුත්‍රයා ගෙන්වාගැනීම සදහා සහාය ලබාදෙන ලෙස එතුමාට මා ඉල්ලීමක් නොකළ හෙයින් එතුමා කිසිවෙකුට ඔහු ගෙන්වාගැනීම ගැන ⁣කතා නොකළ බව ද මාගේ විමසුමට පිළිතුරු ලෙස එම සාකච්ඡාවේ දී එතුමා දැන්වීය.

6. එබැවින් මාගේ නිල තත්ත්වය භාවිත කර මාගේ පුත්‍රයා වූ විදුර ⁣දේශප්‍රිය ගෙන්වාගැනීමට මා කිසිදු අයුතු බලපෑමක් කර නැත.

7. මේ ගැන මා සමග කතා කළ මේ සටහන ලියන මිතුරාගෙන්, මා විමසූයේ මාගේ පුත්‍රයාවීම නිසා ඔහුට ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා නොගත යුතුද යන්න හා මා මැ.කො.ස. සභාපති නිසා, මාගේ පුත්‍රයාගේ ලිපි අදාළ නිලධාරීන්ට පෞද්ගලික මට්ටමින් යැවීමෙන් මා වරදක් කර තිබේද යන්නයි. ⁣අදාළ ලිපි ඒ නිලධාරීන්ට යැවීම අයෝග්‍ය බව හා එය ළබැදියා අතර ගැටුමක් බව ඔහුගේ මතයයි. ඔහුට ඒ මතය දැරීමට හා එය ප්‍රසිද්ධ කිරීමට ඇති අයිතියට ගරු කරමි.

8. මා මේ නිලධාරීන් වෙතින් කිසිදු විශේෂ උදව්වක් ඉල්ලා නැති හෙයින් හා මාගේ පුත්‍රයාට ද සෙසු රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පාඨමාලා අවසන්වූ පසු දිවයිනට පැමිණීමට අයිතිය ඇති බැවින් මා වරදක් කර නැති බව මම විශ්වාස කරමි. මාගේ දරුවන් හෝ බිරිඳ කිසිවිටක මාගේ නිල තත්ත්වය, ඔවුන් හඳුන්වාදීමට හෝ භාවිත නොකරන බව හෝ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සදහා හෝ භාවිත කර නැති අප ගැන දන්නා සැවොම දනිති.
එසේ වුව ද සැමවිට ම අපට අවලාද හා විවේචන එල්ල වේ.
ඒ සෑම අවලාදයක් ම ප්‍රශංසා මෙන්ම එකම ආකාරයෙන් සැලකීමට උත්සාහ කරමින් සිටිමි .##!##

එනමුත් මේ කරුණ බරපතළ ලෙස සලකා යම් ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබේ යයි සිතන අපේ සමාජ ක්‍රියාකාරීහු රැසක් සිටිති. එහෙයින් මේ ගැන යමක් කළ යුතු යයි සිතමි. මක්නිසාද යත් මැතිවරණ දෙපාර්තමේන්තුව හා කොමිසම ද, ජනතා පරමාධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය ද, අම්බලන්ගොඩ නගරය හා ධර්මාශෝක විද්‍යාලය ද, මිත්‍රත්වය ද පවුලේ සබඳතාවලට වඩා ඉහළින් සලකමින් මුළු දිවිය පුරා ම කටයුතු කළ මට, විශේෂයෙන් ම පුත්‍රයා 2010/2011 වර්ෂවල බරපතළ ලෙස රෝගාතුරව දින ගණනාවක් රෝහල් ගතව සිටිය දී ඔහුගේ සාත්තුව සදහා දිවා කාලයේ යෙදවීමට අන් කිසිවකු නොමැතිව සිටිය දී පවා රෝහලේ රැදී නොසිට රාජකාරි ඉටු කළ මට ඔහු වෙනුවෙන්, මා වරදක් සේ නොසිතූ කාර්යයක් ඉටු කර චෝදනාවකට ලක්වීම සතුටට කරුණක් බැවිනි.

පසුගිය අප්රේල් 25 දින ඡන්ද විමසීම පැවැත්වීමට නියම කළ වහාම මට වයස අවුදු 65 සම්පූර්ණ වන 2020 ජුනි 05 දින සභාපති ධුරයෙන් ඉවත්වීමේ ලිපිය මැයි 05 දා ගරු ජනාධිපතිවරයා වෙත යැවීමට මාර්තු මුල් සතියේ මා සකස් කළ බවත් එසේ නොකරන ලෙස මාගේ සමීපතයන් ඉල්ලා සිටි බවත් දන්නා සැලකිය යුතු පිරිසක් සිටිති. එමෙන්ම අප්‍රේල් මස මුල දී ද මා ඒ යෝජනාව ගැන නැවත අවධානය යොමු කළ අතර එසේ කිරීම සුදුසු නැති බව අපගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ මතය විය. ඉන් අනතුරුව මට එරෙහිව දරාගැනීමට බැරි තරම් අභූත චෝදනා අපගේ සගයකුගේ සහාය ඇතිව මෑතදී, මාධ්‍ය හරහා ප්‍රචාරය වන අවස්ථාවේ දී ද කණ්ඩායමක් සේ එකට සිටිය නොහැකි නම් මට තවදුරටත් එකට වැඩ කළ නොහැකි බව දන්වා මම මේ තනතුරෙන් ඉවත්වීමේ යෝජනාව ගැන අප්‍රේල් අග ද මැයි පළමු සති අන්තයේ ද මා අපගේ සගයන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.

එබැවින් මිතුරනි, දේශපාලන ක්‍රියාකාරීනි, සිවිල් සමාජ ක්‍රියාකාරීනි, මාධ්‍යවේදීනි, පුරවැසියනි,
මා සැමවිට ම ප්‍රකාශ කරන පරිදි අපි අධිකරණය, විගණනය හා හෘදය සාක්ෂිය ඉදිරියේ වරදකරුවකු නොවන සේ ක්‍රියා කළ යුතු වෙමු. මාගේ මෙම කාර්යය ඒ කිසිදු අයුරකින් වරදක් නෙවේ යයි මම සිතමි.
එසේ වුව ද මා, අපගේ පුත්‍රයා විසින් එවන ලද පෙර කී ලිපි නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් හා ඒ ගැන ඔවුන් විමසීමෙන් කර ඇත්තේ, මැ.කො.ස. සභාපති ලෙස මා නොකළ යුත්තක් නම් ඔබ සැමට ආයුබෝවන් යනුවෙන් පවසා දැන් මැතිවරණ මෙහෙයුම් රාජකාරිවලින් පසෙකටවීම හැර වෙනත් විකල්පයක් නැතැයි හඟිමි.
කෝවිඩ් 19ට පරාජය.- ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හිමිවනු ඇතැයි පතමි.

Leave A Reply

Your email address will not be published.