මැතිවරණ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම ගොනු කර ඇත්තේ රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් ඇතුළු හත්දෙනෙකු විසින්.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරමින් පෙත්සම්කරුවන් පවසා සිටින්නේ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව යළි කැදවිය යුතු බවයි.

එලෙස පාර්ලිමේන්තුව මාස තුනක් ඇතුළත යළි නොකැදවීමෙන් මහජනයාගෙ ස්වාධිපත්‍යය බලය උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

එම පෙත්සමෙ වගඋත්තරකරුවන් ලෙසට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් සහ නීතිපතිවරයා නම් කර ඇත.

Leave A Reply

Your email address will not be published.