අද රාත්‍රී අටෙන් පසු ඇඳිරි නීතිය පැනවෙන්නේ මෙහෙමයි

අද (06) රාත්‍රි 8.00 සිට මුළු දිවයිනට ම බලපාන පරිදි ඇඳිරි නීතිය පැනවේ.

පනවනු ලබන ඇඳිරි නීතිය මැයි මස 11 වන සදුදා අලුයම 5.00 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථාතත්ත්වයට පත් කිරීම මැයි මස 11 වන සදුදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන 11 වන සදුදා සිට විවෘත කර පවත්වා ගෙන යායුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

රාජකාරි සඳහා යළි සක්‍රිය වන ආයතන පවත්වාගෙන යාමේ දී කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්යය වේ.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේ අබිමතය අනුව තීරණය කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ.

මහජනතාව අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම තහනම් වන අතර ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය, රැකියා කටයුතු සඳහා ගමන් කරන අයට පමණක් සීමා කර තිබේ.

පොලීසිය විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැලඳ සිටින්නේ නම් පමණක් බව ද එම අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Leave A Reply

Your email address will not be published.