රූපලාවණ්‍යාගාර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කරන්න උපදෙස්

තාවකාලිකව වසා දැමුණු රූපලාවණ්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් දී තිබේ.

COVID-19 හේතුවෙන් රජය විසින් තාවකාලිකව වසාදැමීමට පියවර ගත් රූපලාවණ්‍යාගාර නැවත විවෘත කිරීමට අදාළව සහ රූපලාවණ්‍යාගාර ක්ෂේත්‍රයට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සම්පාදනය කිරීමට නියමිත නීති පද්ධතිය ඇතුළත් මාර්ගෝපදේශනය සදහා ප්‍රායෝගික ගැටලු හදුනාගනිමින් නව කරුණු එ‍කතු කිරීමත් අරමුණු කොටගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් උපදෙස් දෙමින් කියා සිටියේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අදාළව නීති සම්පාදනය වෙනත් කිසිදු ආයතනයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ම පමණක් සිදු කරන බවයි.

එමෙන් ම දෛනිකව සේවා සැපයීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් ලබාදෙනු ලැබූ කොණ්ඩා කැපීම ඇතුළු අත්‍යවශ්‍ය ම සේවාවන් පමණක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

නිසි ඉඩ ප්‍රමාණයන් තබාගනිමින්, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරටම අනුගමනය කරමින් සේවා සැපයීමට කටයුතු කරන ලෙස ද දන්වා සිටින ලදි.

එමෙන් ම ඉදිරියේ දී රුපලාවණ්‍යාගාර සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අදාළව පිළිපැදිය යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශනයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු සැලසුම් කොට ඇති බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම කටයුතු නිරීක්ෂණය කිරීමට ද කටයුතු කරන බව ද දන්වන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය,

“රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග අද දින සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඔවුන්ගේ ඉල්ලීම වූයේ රූපලාවණ්‍යාගාර ආරම්භ කිරීම සදහා රජයේ සහයෝගය ලබාදෙන ලෙසයි.

එම සියලු ඉල්ලීම් පිළිබද අවධානය යොමු කොට රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට අවස්ථාව ලබාදුන්නා. රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැප කිරීමක් සිදු කර ලෝකයේ මෙම රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් තිබුණත් ලංකාව තුළ මේ රෝග තත්ත්වය පාලනය කර ගත හැකි තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් ද පෙන්වා දුන්නා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ඉල්ලීමට අනුව මෙම අවසරය ලබාදුන්නත් මේ අවස්ථාවේ රට ගැන හිතලා ඉතා වගකීමකින් සේවා සපයන ලෙස අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන් ම සමාජ දුරස්ථභාවය තබාගනිමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය සදහා ඔබ ආයතනයට පැමිණෙන පුද්ගලයන්ට අවස්ථාව සලසා දෙමින් එම සේවාවන් ලබාදීමට කටයුතු කරන්න.”

මෙම සාකච්ඡාවට එක් වූ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් පෙන්වා දෙන ලද්දේ COVID-19 හේතුවෙන් රූපලාවණ්‍යාගාර වැසීමට රජය තීරණය කළ ද බොහෝ රූපලාවණ්‍ය කටයුතු පෞද්ගලිකව සිදු කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවයි.

එය ඉතා ම භයානක තත්ත්වයක් බව ද පෙන්වා දෙන ලදි. විශේෂයෙන් වතු ආශ්‍රිත ප්‍රදේශවල කොණ්ඩා කැපීමේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා සිදු කරන බව ද පෙන්වා දෙන ලදි.

දැනට A,B,C යන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වර්ගීකරණයට අනුව ක්ෂේත්‍රය තුළින් ලක්ෂ 02කට පමණ ආසන්න පිරිසක් යැපෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් සිය සේවාවන් සැපයීමට කටයුතු කිරීමට තමන් කටයුතු කරන බවත්, ඔවුන්ගේ අදහස් ලබාගැනිම සදහා සාකච්ඡාවක් ලබාදීම පිළිබද සිය ස්තූතිය සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත පුද කරන බවත්  පැවැසීය.

Leave A Reply

Your email address will not be published.