පොලිස් යතුරු පැදියක් සොරකම් කර කුඩු පැකට් 05කට එය විකුණලා..

අම්පේගම, කුසල්කන්ද වත්තේ පදිංචි පොලිස් නිලධාරියෙකුට අයත් යතුරු පැදියක් සොරකම් කර එය හෙරොයින් පැකට් 05කට විකුණන ලදැයි කියන සැකකරුවන් තිදෙනකු බද්දේගම පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් බද්දේගම මහේස්ත්‍රාත් පැල්පොළ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සැකකරුවන් විසින් සොරකම් කර ඇත්තේ ඩිස්කවරි, 125 වර්ගයේ යතුරු පැදියකි. එය කුඩු ජාවාරම්කරුවෙකුට විකුණා තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම යතුරු පැදිය වසර 13ක් පමණ පැරණි එකක් බවත් එය මේ වන විට රුපියල් ලක්ෂයකට (1,00000/-) අධික වටිනාකමකින් යුක්ත වන බවත් බද්දේගම පොලීසිය කියයි.

සැකකරුවන් අධික ලෙස හෙරොයින්වලට ඇබ්බැහිවී ඇති බවත් ඔවුන් විසින් සොරකම් කරන ලද යතුරු පැදිය විකුණා ඇත්තේ රුපියල් 5000/-ක වටිනා කමකින් යුත් හොරොයින් පැකට් 05කට බවත් පරීක්ෂණවල දී තහවුරු වූයේ යැයි බද්දේගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සැකකරුවන් විසින් හෙරොයින් මිල දී ගැනීම සදහා කරන ලද තවත් හොරකම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

මූලාශ්‍රය – ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.