ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ඵලදායීතාවට කාන්තා සහභාගීත්වයේ වැදගත්කම අවධාරණය කෙරෙයි

ගෝලීය වශයෙන් ග්‍රාමීය ජනසංඛ්‍යාත්මක වෙනස්වීම් මෙන්ම ස්ත්‍රීපුරුෂ හා පරම්පරා සමඟ බැඳුණු ගතිකයන්ගේ විකාශනය ද පිළිබිඹු කරමින් ගොවියාගේ මුහුණුවර ද පසුගිය වසර 30 පුරාවට වෙනස්වීමට ලක්ව තිබේ. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ද කාන්තාව ගෘහස්ථ මට්ටමින් ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන නමුත්, ඵලදායී සම්පත්, ප්‍රාග්ධනය ලබාගැනීමට ඔවුන්ට ඇති අවස්ථාව අවම අතර සිය කුසලතා හා දැනුම නිසි ලෙස යොදාගැනීමේ පුළුල් අවකාශයක් ද ඔවුන්ට නොමැත.

යුරෝපා සංගමය මගින් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා තාක්ෂණික සහාය සැපයීමේ වැඩසටහන (Technical Assistance to the Modernisation of Agriculture Programme TAMAP), ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization FAO) හා කාන්තා පර්යේෂණ මධ්‍යස්ථානය (Centre for Women’s Research CENWOR) එක්ව පසුගියදා ජාත්‍යන්තර කාන්තා දිනය කේන්ද්‍ර කරගනිමින් ‘ස්ත්‍රීපුරුෂ සහභාගීත්වය තුළින් කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව නැංවීම’ මැයෙන් විශේෂ සම්මන්ත්‍රණයක් සංවිධානය කරතිබුණි. බොහෝදෙනෙකුගේ අවධානයෙන් ගිලිහී ඇති, කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ කාන්තාවගේ දායකත්වය ඇගැයීමේ  වැදගත්කම පිළිබඳ මෙහිදී වටිනා අදහස් හුවමාරු කරගැනීමක් සිදුවිය.

මෙම සම්මන්ත්‍රණයේ වැදගත්කම වූයේ එහිදී අවසාන නිගමනයන්ට එළැඹි කරුණු, කෘෂිකර්ම අමාත්‍යංශය හා TAMAP එක්ව ගොඩනැඟූ, සාර්ව කෘෂිකර්ම ප්‍රතිපත්තිය (Overarching Agricultural Policy) වෙනුවෙන් භාවිතයට ගැනීම ය.

මෙහිදී ‘ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව සඳහා සුදුසු පරිසරයක් සහිත ග්‍රාමීය ශ්‍රී ලංකාව’ මැයෙන් ඉදිරිපත් කිරීමක් සිදුකළ FAO හි අසුම්තා ජයරත්නම් මහත්මිය, 2018 සිව්වැනි කාර්තුවේ ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණය උපුටා දක්වමින් ප්‍රකාශ කළේ, මෙරට මිලියන හතරක් වන ග්‍රාමීය කුටුම්භ අතුරින් 19-23% අතර ප්‍රමාණයක ගෘහ මූලිකයා වන්නේ කාන්තාව බවය. තව ද ගොවිතැන් ආශ්‍රිත ක්‍රියාකාරකම්වල යෙදෙන පවුල්වල සාමාජිකයින්ගෙන් 78.9%කට තම ශ්‍රමය සඳහා වේතනයක් නොලැබෙන බව ද ඉන් හෙළි වී තිබුණි.

“මෙතැනදී සිදුවන්නේ එක්කෝ පුරුෂයා විසින් භාරකරුගේ භූමිකාව හෝ රජය විසින් කාන්තාවගේ ආරක්ෂාව භාරගනු ලැබීම හරහා කාන්තාව තවදුරටත් සාම්ප්‍රදායික තැනකට තල්ලු කිරීමයි” ජයරත්නම් මහත්මිය පැහැදිලි කළාය.

ස්ත්‍රීපුරුෂ අසමානතාව ඵලදායී  ලෙස අවම කිරීම උදෙසා, කාන්තාවගේ ප්‍රායෝගික  අවශ්‍යතා සහ ඒ සඳහා දැනට පවතින බාධා නිවැරදිව හඳුනාගනිමින් පවත්නා තත්ත්වය වෙනස් කිරීමේ වැදගත්කම මෙම කරුණු හරහා අනාවරණය වී ඇත. මීට අමතරව මෙරට ඉඩම් හිමිකාරීත්වය හා බැඳුණු නීතිරීති ද ස්ත්‍රීපුරුෂ වගකීම් බෙදාහැරීම් අසමානතාව කාන්තාවන් පසුගාමී භූමිකාවන් කරා තල්ලු කරන බව ඇගේ අදහසයි.

ස්ත්‍රීපුරුෂ අසමානතාව පිළිබඳ සමාජය තුළ පවතින නොදැනුවත්භාවය ඇය පෙන්වාදුන් තවත් විශේෂ කරුණකි. “ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව ඇතිකිරීමට නම් අපි අනිවාර්යෙන්ම ප්‍රජාව සිතන පතන ආකාරය වෙනස්කළ යුතුයි” ඇය පැවසුවාය.

සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට කාන්තා සේවා නියුක්තිය 37%කි. කෙසේවුවද මේ කාන්තාවන් බහුතරයකගේ රැකියාව ඇගයීමට ලක්නොවීම ද මතුව ඇති තවත් ගැටලුවකි. පරිවර්තනීය බලපෑමක් ඇති වෙනසකට අපි මුලපිරිය යුතුයි. ඒ වගේම අපි කියන දේ කර පෙන්විය යුතුයි. කෘෂිකර්මාන්ත අංශය තුළ ස්ත්‍රීපුරුෂ අසමානතාව කැපීපෙනෙන ලක්ෂණයක් බව අපි සියලුදෙනා දන්නවා. එහි සැබෑ වෙනසක් ඇතිකිරීමට ප්‍රායෝගික විසඳුම් සොයාගත යුතුයි” ඇය උපදෙස් දුන්නාය.

මේ  අතර CENWOR අධ්‍යක්ෂ ආචාර්ය කලා පීරිස් මහත්මිය පැවසූ ආකාරයට, ඇගේ සංවිධානය මෑතකදී දියත් කළ අධ්‍යයනයක් හරහා (ස්ත්‍රීපුරුෂ සමානතාව සහිත කෘෂිකර්ම ප්‍රතිපත්ති) කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම එක්ව කෘෂිකාර්මික ඵලදායීත්ව හා ග්‍රාමීය සමාජ පරිවර්තනය ප්‍රවර්ධනය කළ හැකි විධික්‍රම පිළිබඳ විමසා බැලීමක් සිදුකර තිබේ.

එම අධ්‍යයනය හරහා විවිධ කෘෂි ක්ෂේත්‍රවලට අදාළව ප්‍රධාන අංශ තුනක් ඔස්සේ පුළුල් විශ්ලේෂණයක් සිදුකොට ඇත. කෘෂිකර්මාන්තය තුළ කාන්තා සහ පිරිමි නියෝජනය, කාන්තාවන් හා පිරිමින් වෙනස් වූ කටයුතුවල නියැළීම හරහා කෘෂිකර්මාන්ත ඵලදායීතාවට ස්ත්‍රීපුරුෂභාවය බලපාන අයුරු සහ, කෘෂිකර්මාන්තය තුළ ස්ත්‍රීපුරුෂ සබඳතාව ග්‍රාමීය සමාජ පරිවර්තනයට බලපාන අයුරු එම අංශ තුන වේ.

ප්‍රතිපත්තිවලට ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව ඇතුළත් කිරීම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයක් අවශ්‍ය බව ද ආචාර්ය පීරිස් මහත්මිය වැඩිදුරටත් පෙන්වාදුන්නාය. ඒ අනුව කාන්තාව කෘෂිකර්මාන්තය තුළ සවිබලගැන්වීමේදී නායකත්වය, ධාරිතාව සහ තාක්ෂණය හුවමාරුව ආදිය ඊට අදාළ ප්‍රතිපත්තිවල අන්තර්ගතවිය යුතු බව ද ඇගේ අදහස විය. “මෙසේ හඳුන්වාදෙන ප්‍රතිපත්ති හුදෙක් ලේඛනයකට පමණක් සීමා නොවී සැබෑ වෙනසක් සඳහා මුලපිරිය යුතුයි” ඇය අවධාරණය කළාය.

මේ අතර යුරෝපා සංගමය දියත් කළ 2018 කෘෂිකාර්මික ප්‍රතිපාදනවල ස්ත්‍රීපුරුෂ සමාජීය අනුකූලතාව (Gender Responsiveness of 2018 Agriculture Sector Budget) අධ්‍යයනය හරහා අනාවරණය වූ ප්‍රධාන කරුණු කිහිපයක් ද මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡාවට ලක්විය. එහිදී කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අයවැය ශීර්ෂ පිළිබඳ අවධානය යොමුවිය.

මේ පිළිබඳ අදහස් දක්වමින් යුරෝපාං සංගම් දූත මණ්ඩලයේ උපදේශිකා සහ ස්ත්‍රීපුරුෂභාවය පිළිබඳ විශේෂඥ ශ්‍රියානි පෙරේරා මහත්මිය පැවසුවේ බොහෝ උප අංශ හා ආයතන රැසකින් සමන්විත මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය අතිශය සංකීර්ණ ස්වභාවයක් උසුළන බව ය.

මෙම විශ්ලේෂණයේ ප්‍රධාන අරමුණු වී තිබුණේ වර්තමාන කෘෂිකාර්මික සැලසුම්කරණයට හා අයවැය සම්පාදනයට ඇති ස්ත්‍රීපුරුෂ සමාජභාවීය ප්‍රතිචාරය අවබෝධ කරගැනීම සහ එමගින් ආදායම්, ජීවන මට්ටම සහ කාන්තා පිරිමි වශයෙන් සම්පත් ලබාගැනීමට සිදුවන බලපෑම විශ්ලේෂණය කිරීම යනාදියයි. මෙම විශ්ලේෂණයට පදනම ලෙස යොදා තිබුණේ අදාළ ආයතනවල ප්‍රතිපාදන ශීර්ෂ, කාර්යසාධන වාර්තා, තෝරාගත් අංශ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡා සහ තීරණ ගැනීමට සහභාගී වන්නන් හා පැවැති සම්මුඛ සාකච්ඡාවන් ය.

“කාන්තාවන්ට සම්පත් ලබාගැනීමේ ගැටලුවක් වගේම සමාජ පිළිගැනීම හා බැඳුණු ගැටලුවකුත් පවතිනවා. ශ්‍රී ලංකාවේ සමාජය, කාන්තාවන් ගොවීන් ලෙස හඳුනාගැනීමට මැළිකමක් දක්වනවා. අපට දක්නට ලැබුණු ප්‍රධානම ස්ත්‍රීපුරුෂ අසමානතාව එයයි” පෙරේරා මහත්මිය පෙන්වාදුන්නාය.

 ‘ස්ත්‍රීපුරුෂ සහභාගීත්වය තුළින් කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව නැංවීම’ මැයෙන් යුරෝපා සංගමය මගින් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා තාක්ෂණික සහාය සැපයීමේ වැඩසටහන (TAMAP) පසුගියදා සංවිධානය කළ සම්මන්ත්‍රණයේදී, යුරෝපාං සංගම් දූත මණ්ඩලයේ උපදේශිකා සහ ස්ත්‍රීපුරුෂභාවය පිළිබඳ විශේෂඥ ශ්‍රියානි පෙරේරා මහත්මිය යුරෝපා සංගමය දියත් කළ 2018 කෘෂිකාර්මික ප්‍රතිපාදනවල ස්ත්‍රීපුරුෂ සමාජීය අනුකූලතාව (Gender Responsiveness of 2018 Agriculture Sector Budget) අධ්‍යයනය හරහා අනාවරණය වූ කරුණු ඉදිරිපත් කළ අයුරු.

 

 කාන්තා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ආචාර්ය කලා පීරිස් මහත්මිය, ස්ත්‍රීපුරුෂ සමානතාව සහිත කෘෂිකර්ම ප්‍රතිපත්ති මැයෙන් සිදුකළ මෑතකාලීන අධ්‍යයනයක් හරහා අනාවරණය වූ කරුණු ඉදිරිපත් කළ අයුරු.

Leave A Reply

Your email address will not be published.