එංගලන්තයේ සිට රැගෙන ආ පිරිස් කටුනායක දී කලහකාරී ලෙස හැසිරෙයි

නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් එංගලන්තයේ අතරමංවී සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් මව්බිමට අද (04) රැගෙන ආ කණ්ඩායමේ ඇතැම් අය ගුවන්තොටුපොළේ දී කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. තමන් වෙනුවෙන් සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් හා ප‍්‍රවාහන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව පවසමිනුයි ඔවුන් කලහකාරීව හැසීරී තිබෙන්නේ.
ශ‍්‍රී ලාංකික සිසුන් ඇතුළු 208දෙනෙකු එංගලන්තයේ සිට අද අලුයම මෙලෙස මව්බිමට පැමිණියා. පළමුව ඔවුන් සියලුදෙනා සහ ඔවුන්ගේ ගමන් මු ද ගුවන්තොටුපොළේ දී ම විෂබීජහරණය කෙරුණු බවයි වාර්තා වන්නේ. අනතුරුව ඔවුන් බස් රථ මගින් නිරෝධායනය සඳහා රැගෙන යාමට කටයුතු කෙරුණා.
මෙම කණ්ඩායමේ වැඩිදෙනෙකු නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ මීගමුව ජෙට්වින්, ඩොල්ෆින් සහ වස්කඩුව සිට‍්‍රස් යන හෝටල්වලටයි. දිනකට රුපියල් 7,500ක් බැගින් වන පරිදි මුදල් පෞද්ගලිකව ගෙවා නිිරෝධායනයවීමට පහසුකම් සපයා දී තිබෙනවා.
මීගමුව ජෙට්වින් හෝටලයට පිරිමි පුද්ගලයින් 44දෙනෙකු, කාන්තාවන් 47දෙනෙකු සහ ළමයින් 03දෙනෙක් රැගෙන ගොස් ඇති බවයි වර්තා වුණේ. තවත් කිහිපදෙනෙකු මීගමුව ඩොල්ෆින් හෝටලයට රැගෙන විත් තිබෙනවා.
නිරෝධායනය සඳහා වස්කඩුව සිට‍්‍රස් හෝටලයට රැගෙන ගිය පිරිස 62ක්. පිරිමි පුද්ගලයින් 33ක් සහ කාන්තාවන් 29ක් ඒ අතර වනවා. 
සෙසු පිරිස නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ දියගම තාක්ෂණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයටයි. පිරිමි පුද්ගලයින් 15දෙනෙකු සහ කාන්තාවන් 30දෙනෙකු සහ ළමයින් 04දෙනෙකු ඒ අතර වනවා.
මේ අතර නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් මව්බිමට පැමිණීමට නොහැකිව එංගලන්තයේ අතරමංවී සිටින ශ‍්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ තවත් විශේෂ යානයක් අද අලුයම පිටත්ව ගියා. හෙට දිනයේ ද එවැනි තවත් විශේෂ යානයක් එංගලන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.