කොරෝනා අස්සේ ආණ්ඩුව ගේම් ගහන්න පටන් අරන් – චම්පික

කොරෝනා අරමුදල විධිමත් කිරීම අත්‍යවශ්‍යවී ඇති අතර මේ වන විටත් ආණ්ඩුව ගේම් ගැසීම ආරම්භ කර තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ය.

දැවැන්ත මූල්‍ය අර්බුදයක් තිබිය දී හදිසියේ අධිවේගී මාර්ග ගණනාවක් සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන ඇති බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කොවිඩ් 19 හේතුවෙන් අසරණවී සිටින පුද්ගලයන්ට රු.5000 බැගින් දීමට රු.කෝටි 850ක් වියදම් කරන අතර තුර එම මුදල මෙන් හතර ගුණයක් හදිසියේ අධිවේගී මාර්ග සඳහා ලබාදීමට අනුමැතිය දී තිබෙන බව රණවක මහතා පෙන්වා දෙයි.

මේවා මෙගා ඩීල් බව හෙතෙම අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව කැඳවීමෙන් වැළකී සිටින කාරණය දැන් පැහැදිලි අතර පාර්ලිමේන්තුව කැඳ වුවහොත් මේවා එහිදී ප්‍රශ්න කරන බව ද ඔහු සඳහන් කරයි.

මේ අතර එක් වතාවක් ජනාධිපතිවරයා හමු වූ අතර දෙවතාවක් අගමැතිවරයා හමු වී PCR පරීක්ෂණ වැඩි කරන ලෙසත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල නියැලී සිටින අයට ආරක්‍ෂිත උපකරණ ලබාදීම සම්බන්ධයෙනුත් ඖෂධ බෙදාහැරීම, ඇඳිරි නීතිය දේශපාලනීකරණය කිරීම, ආධාර බෙදීම සම්පූර්ණයෙන් දේශපාලනීකරණය කිරීම ආදිය සම්බන්ධයෙන් කරුණු දැක්වුවද ඒ කිසිවක් නිසි ලෙස ඉටු නොවුණු බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

එවන් තත්ත්වයක නීත්‍යානුකූල නොවන ලෙස අරලියගහ මන්දිරයේ මන්ත්‍රීවරු කැඳවීම නොව නිසි පරිදි පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.