බ්‍රිටිෂ් කවුන්සිලය මෙරට ප්‍රථම ඉංග්‍රීසි භාෂා ගුරු පුහුණු සම්මන්ත්‍රණය සංවිධාන කරයි

මෙරට තුළ ඉංග්‍රීසි භාෂා ගුරුවරු පුහුණුකරන්නන්ගේ කුසලතා සහ ජයග්‍රහණ ප්‍රදර්ශනය කිරීමේ සහ දේශීය වශයෙන් මෙන්ම කලාපීය වශයෙන් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පිළිබඳව පවතින ගැටලු හා අනාගත අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ‘2020 ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා ගුරු පුහුණු සම්මන්ත්‍රණය’ (SLELTEC) අධ්‍යාපන අමාත්‍යංශයේ ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බ්‍රිටිෂ් කවුන්සිලය මගින් පසුගියදා සංවිධානය කරතිබුණි.
මාර්තු මස පළමු සතියේදී තුල්හිරියේ MAS Athena ආයතන පරිශ්‍රයේ පැවැති මෙම සම්මන්ත්‍රණය සඳහා රාජ්‍ය අංශයේ ඉංග්‍රීසි භාෂා ගුරු පුහුණුකරුවන් මෙන්ම, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු අභ්‍යාස විද්‍යාල සහ ගුරු මධ්‍යස්ථාන, ප්‍රාදේශීය ඉංග්‍රීසි උපකාරක මධ්‍යස්ථාන ආදියේ දේශකයින් සහ ඒ ඒ පළාත්වල දැනට සේවයේ නියුතු උපදේශකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. සෙසු කලාපීය රටවල් නියෝජනය කරමින් නේපාලයේ සහ ඇෆ්ඝනිස්ථානයේ ඉංග්‍රීසි භාෂා ගුරු පුහුණුකරුවන් ද ඊට එක්ව සිටීම කැපීපෙනුණි.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ඉංග්‍රීසි හා විදේශ භාෂා අංශයේ අධ්‍යක්ෂිකා මහේෂි වීරසූරිය මහත්මිය, එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සනත් ජයලත් මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය දර්ශන සමරවීර මහතා, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සභාපතිවරු, පළාත්බද ඉංග්‍රීසි සම්බන්ධීකාරකවරු සහ ප්‍රාදේශීය ඉංග්‍රීසි උපකාරක මධ්‍යස්ථානවල නියෝජිතයින් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් ද සහභාගී විය.
‘විසි එක්වැනි සියවසේ ඉංග්‍රීසි භාෂා ගුරු පුහුණුව’ යන ප්‍රධාන තේමාව යටතේ මෙවර සම්මන්ත්‍රණය සංවිධානය කරතිබුණි. ඉංග්‍රීසි ගුරු පුහුණුකරුවන් මුහුණ දෙන අභියෝග මෙන්ම ඔවුන්ට උපකාරී වන ක්‍රමශිල්ප, උපකරණ හා ඉගැන්වීම් ක්‍රමවේද පිළිබඳව ද එහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.
බ්‍රිටිෂ් කවුන්සිලය, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශ ඉංග්‍රීසි භාෂා ගුරු පුහුණුකරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කරන අතර, මෙම සම්මන්ත්‍රණය ද එම කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස බිහිවූවකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා ගුරු සංගමය (SLELTA) මගින් මෙරට ඉංග්‍රීසි ගුරුවරු සඳහා සංවිධානය කරන සම්මන්ත්‍රණ රාශියක් පැවතුණ ද, ඉංග්‍රීසි භාෂා ගුරු පුහුණුකරුවන් වෙනුවෙන් එකදු සම්මන්ත්‍රණයක් හෝ නොතිබිණි. එවන් පසුබිමක මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීමත්, දැනටත් පුහුණුවෙමින් පවතින ඉංග්‍රීසි භාෂා ගුරු පුහුණුකරුවන්ගේ හා දැනට රාජකාරියේ යෙදී සිටින ගුරු පුහුණුකරුවන්ගේ කාර්යයභාරය එතුළින් ඇගැයීමට ලක්කිරීමත් අතිශය කාලෝචිත පියවරකි. එනිසා මෙතෙක්කල් සැඟව තිබුණු මෙරට මෙන්ම කලාපීය ඉංග්‍රීසි ගුරු පුහුණුකරන්නන්ගේ සේවා කටයුතු එළිදැක්වීමට කදිම වේදිකාවක් නිර්මාණය විය.
මේ අතර ඉංග්‍රීසි ගුරු පුහුණුකරුවන්ට තම රාජකාරිය තුළ ක්රියාත්මක කළ සාර්ථක අදහස් බෙදාහදාගැන්මට සේම අදහස් හුවමාරු කරගැන්මට ද සුදුසු සංවාද මණ්ඩපයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව බ්‍රිටිෂ් කවුන්සිලය දියත් කළ තවත් ව්‍යාපෘතියක් වන Community of Practice (COP) හරහා මෙම සම්මන්ත්‍රණයට අදාළව උප තේමා හතරක් ද හඳුන්වා දී තිබුණි. එනිසා මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලාංකික ඉංග්‍රීසි භාෂා ගුරු පුහුණුකරුවන්ට ඉතාමත් වැදගත් අවස්ථාවක් විය.
ශ්‍රී ලාංකික ඉංග්‍රීසි භාෂා ගුරු පුහුණුකරුවන් වර්තමානයේ මුහුණදෙන වඩාත්ම වැදගත් ප්‍රශ්න හා අභියෝග ඇසුරින් මෙම සුවිශේෂී තේමා නිර්මාණය කරතිබීම ද කැපීපෙනුණි.
ඒ අනුව ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම දැවැන්ත ලෙස තාක්ෂණයේ බලපෑමය හසුවී ඇති පසුබිමක ඩිජිටල් ප්‍රවණතා, මුහුණට මුහුණලා කෙරෙන නිරීක්ෂණය හා ප්‍රතිචාර දැක්වීම අධ්‍යාපනය තුළ ඇති ප්‍රබලම උපාංගයක් ලෙස හඳුනාගෙන ඇති පසුබිමක ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට අදාළ නිරීක්ෂණ හා ප්‍රතිචාර දැක්වීම, සාහිත්‍යය ඉගැන්වීම හා එහිලා විෂයමාලාවට ඇති වැදගත්කම (ගුරුවරුන්ට පන්ති කාමරය තුළ ඉදිරිපත් කිරීමට සිදුවන විෂය මාලාවට හා එහි අභියෝග හා අවස්ථාවලට අදාළව), ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට ඇති මෑතකාලීන ප්‍රධානම අභියෝගය ලෙස කථනය හා ශ්‍රවණය පිළිගැනීම (මන්ද යත් සේවා ස්ථානයකට පිවිසෙන තරුණ ශ්‍රමිකයෙකුට මෙවැනි කුසලතා පැවතීම හා වැඩිදියුණු කරගැනීම අත්‍යවශ්‍ය සාධකයකි) යනාදිය මෙම සම්මන්ත්‍රණය හරහා ඉදිරිපත් කෙරුණු ප්‍රධාන පණිවුඩ විය.
සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදුකළ ආචාර්ය ශෂිකලා අස්සෙල්ල මහත්මිය සාහිත්‍ය පිළිබඳ අගනා දේශනයක් පැවැත්වූවා ය. ඊට අමතරව ආචාර්ය බිමාලි ඉන්ද්‍රරත්න මහත්මිය කථනය හා ශ්‍රවණය පිළිබඳව ද, සයික් කෙනෙත් මහතා නිරීක්ෂණය හා ප්‍රතිචාර දැක්වීම ගැන ද දේශන පැවැත්වූ අතර, කැරන් වෝටර්සන් මහත්මිය ඩිජිටල් ප්‍රවණතා පිළිබඳ කරුණු දැක්වූවාය.
සම්මන්ත්‍රණය පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිටිෂ් කවුන්සිලයේ මෙරට අධ්‍යක්ෂ ගිල් කැල්ඩිකොට් මහත්මිය මෙසේ පැවසුවාය. “2020 ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා ගුරු පුහුණු සම්මන්ත්‍රණය ඉතාම ප්‍රශංසනීය සහ අර්ථාන්විත අයුරින් පැවැත්වුණා. එහිදී හොඳ අන්තර් ක්‍රියාකාරීත්වයක් පැවැති සැසිවාර, විස්තරාත්මක වැඩමුළු සහ සමස්ත වැඩසටහනම හරහා වටිනා ඉගෙනුම් ක්‍රියාවලියක් සුවිශේෂී දැනුම් සම්භාරයක් මෙන්ම අත්දැකීම් රැසක් සහභාගීවූවන්ට හිමිවුණා”.
අධ්‍යාපන අමාත්‍යංශයේ ඉංග්‍රීසි හා විදේශ භාෂා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සනත් ජයලත් මහතා මෙසේ අදහස් පළකළේය. “ප්‍රායෝගික අදහස්, ක්‍රමෝපායන් සහ උපාංග ආදී ඉගැන්වීමට අදාළ නවතම ප්‍රවණතා පිළිබඳ සාකච්ඡාවට ගැනුණු, අධ්‍යාපන අමාත්‍යංශයත් බ්‍රිටිෂ් කවුන්සිලයත් එක්ව සංවිධානය කළ මෙම ගුරු පුහුණු සම්මන්ත්‍රණය ඉතාම කාලීන වැඩසටහනක්. විශේෂයෙන්ම ඒ හරහා ගුරු පුහුණුකරුවන් මුහුණ දෙන ‍පොදු අභියෝගවලට විසඳුම් සපයමින් ඔවුන්ගේ වෘත්තීමය සංවර්ධනයට දායකත්වයක් සැපයෙනවා. මෙම ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයින් හා අදහස් හුවමාරු කරගැනීම, තම සහෘද වෘත්තීකයින් සමඟ සබඳතා ඇතිකරගැනීම සහ දේශීය හා කලාපීය ප්‍රශස්ත භාවිතාවන් පෙන්නුම් කරන සම්මන්ත්‍රණ ප්‍රකාශයක් පළකිරීමට දායකවීම ඇතුළු බොහෝ අවස්ථාවන් මෙම සම්මන්ත්‍රණයට සහභාගීවූවන්ට හිමිවුණා. එය අපට විශාල සතුටක්”.
“සමස්ත සම්මන්ත්‍රණය පිළිබඳව ම මට ඇත්තේ විශාල තෘප්තියක්. සමකාලීන ගුරු පුහුණුකරුවන් මුණගැසී පොදු දැනුම හුවමාරු කරගැනීමට මෙන්ම වර්තමාන අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට ලැබුණු අවස්ථාව ඉතා වැදගත්. සම්මන්ත්‍රණය අතරතුර පැවති ඉදිරිපත්කිරීම් ඇසුරින් මා ලබාගත් අලුත් දැනුම හා අවබෝධය ඉදිරියේදී ප්‍රායෝගිකව අත්හදා බැලීමට මම බලාපොරොත්තුවෙන් සිටිනවා” යනුවෙන් සම්මන්ත්‍රණයට සහභාගී වූ පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දේශක ආර්.එම්.ඩී. රොහාන් මහතා පැවසීය.
බ්‍රිටිෂ් කවුන්සිලය තම අංග සම්පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වන TRANSFORM හි කොටසක් ලෙස මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරයි. තව ද 2017 වසරේ සිට රාජ්‍ය හා පෞද්ගලික යන අධ්‍යාපන අංශ දෙකෙහිම අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් නිර්මාණය කළ ඉගෙනුම් උපාංග සමඟ ශ්‍රී ලංකාවේ ගුරු පුහුණු ව්‍යාපෘතිය ද (iTESL) ක්‍රියාත්මකකර තිබේ. ඒ යටතේ කථන හා ශ්‍රවණ කුසලතා සංවර්ධනයට හා ඇගැයීමට උපකාරීවන පාඨමාලා ද මේ වනවිට ආරම්භ වී ඇත. අද දක්වා 100කට අධික ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ගුරු පුහුණුකරුවන් පිරිසක් මෙම ගුරු පුහුණු පාඨමාලාවලින් ප්‍රතිලාභ ලබා ඇති අතර, 200කට වැඩි දැනට සේවයේ නියුතු ගුරු උපදේශකයින් හා ජ්‍යෙෂ්ඨ ගුරුවරු පිරිසකට ද උපදේශන හා ELT ක්‍රමවේදය පිළිබඳ පාඨමාලා පිරිනමා තිබේ.

බ්‍රිටිෂ් කවුන්සිලය ගැන…
බ්‍රිටිෂ් කවුන්සිලය යනු එක්සත් රාජධානියේ සංස්කෘතික සබඳතා සහ අධ්‍යාපනික අවස්ථා සඳහා වූ අන්තර්ජාතික සංවිධානය යි. කලාව හා සංස්කෘතිය, ඉංග්‍රීසි භාෂාව, අධ්‍යාපනය හා සිවිල් සමාජය වැනි අංශ ඔස්සේ ලොව පුරා රටවල් 100කට වැඩි ප්‍රමාණයක බ්‍රිටිෂ් කවුන්සිලය ක්‍රියාත්මක ය. ඉකුත් වසර තුළදී පමණක් අන්තර්ජාලය, ප්‍රචාරණය හා ප්‍රකාශන හරහා ඍජුවම මිලියන75කට වැඩි ජනතාවක් ද සමස්තයක් ලෙස මිලියන 758කට වැඩි ජනතාවක් ද සමඟ සම්බන්ධ වීමට බ්‍රිටිෂ් කවුන්සිලය සමත්විය. නව අවස්ථා නිර්මාණය කරදෙමින්, සබඳතා ගොඩනංවමින් සහ විශ්වාසය උපදවමින් තමන් ක්‍රියාත්මකවන රටවල ජනතාවගේ ජීවිත උසස් කරලීමට ද එය දායකවී තිබේ. 1934 වසරේදී ආරම්භ වූ බ්‍රිටිෂ් කවුන්සිලය එක්සත් රාජධානියේ රාජකීය විධානයකින් සහ මහජන මුදලින් ක්‍රියාත්මක වන සමාජ සත්කාර ආයතනයකි. එහි අරමුදල් සම්පාදනයෙන් සියයට 15ක් එක්සත් රාජධානියේ ආණ්ඩුව මගින් හිමිවේ. වැඩිදුර තොරතුරු සඳහා www.britishcouncil.org වෙබ් අඩවියට පිවිසෙන්න.

මාධ්‍ය සබඳතා:
මනීෂා අමරසිංහ
සන්නිවේදන කළමනාකාරිණී
Manisha.Amerasinghe@britishcouncil.org

Leave A Reply

Your email address will not be published.