ඇඳිරිනීති බලපත්‍ර නැතුව ශ්‍රී පාදයේ යන්න ගිය අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 4ක් අත්අඩංගුවට

ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු සිව්දෙනෙක් අද (03) මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලීසිය පැවසීය.

ලොරි රථයකින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ සභාපතිවරයාගේ හිතවතුන් යැයි පවසෙන තවත් තිදෙනෙක් අද දින පස්වරු 1ට පමණ මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොළ පසු කර යාමට ලොරි රථය ධාවනය කිරීමේ දී එම පොලිස් මුරපොළේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් ලොරි රථය පරීක්ෂා කිරීමේ දී එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇඳිරිනීති බලපත්‍රයක් නොමැති බවට තහවුරුවීමෙන් පසු ලොරි රථයේ ගමන් ගත් සියලුදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

කොවිඩ්-19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග පුජනීය ස්ථාන වැද පුදා ගැනීමට යාම සෞඛ්‍යය අංශ විසින් තහනම් කර ඇති අතර, ශ්‍රි පාදස්ථානයට ද හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට ගමන් කිරීම නල්ලතන්නිය පොලීසිය විසින් පවත්නා වසංගත තත්ත්වය මත තාවකාලිකව නතර කර ඇත.

සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගත් සභාපතිවරයා ඇතුළු සැකකරුව් සිව්දෙනා ගමන් ගත් ලොරි රථයේ තිබී ගමන් මළු කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඇඳිරිනීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සිව්දෙනෙක් අකුරැස්සේ සිට මස්කෙලිය දක්වා ආරක්ෂක අංශවල අවධානය යොමු නොවී පැමිණ ඇති බව මස්කෙලිය පොලීසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave A Reply

Your email address will not be published.