IPL ඉතිහාසයේ හොඳම පන්දු ‍යවන්නා මාලිංග

VIVO IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වන සංවත්සරය වෙනුවෙන් එම තරගාවලියේ සර්වකාලීන ශ්‍රේෂ්ඨයන් තේරීමක් පසුගියදා සිදු කෙරිණි. එහිදී ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ‘ශ්‍රේෂ්ඨතම පන්දු ‍යවන්නා’ ලෙස ලසිත් මාලිංග නම් කෙරිණි.

චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි සහ මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ෂර්මා එම තරගාවලියේහි ‘සර්වකාලීන ශ්‍රේෂ්ඨතම නායකයින්’ ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

දකුණු අප්‍රිකානු ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ඒ. බී. ඩි විලියර්ස් පිතිකරණ කාණ්ඩයේ ‘සර්වකාලීන ශ්‍රේෂ්ඨතම පිතිකරුවා’ ලෙස නම් කෙරුනු අතර ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් එහි ශ්‍රේෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි.

මෙම ක්‍රීඩක ලැයිස්තුව තෝරාගනු ලැබුවේ Star Sportsහි ක්‍රිකට් සම්බන්ධයෙන් නම් කළ විශේෂඥ ජූරි සභාවක් විසිනි.

තරග 177ක දී ලකුණු 5412ක් රැස්කර ගනිමින් හා ලකුණු 37.84ක සාමාන්‍යයක් වාර්තා කරමින් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කර ගත් ක්‍රීඩකයා ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සහ ඉන්දියානු කණ්ඩායමේ නායක විරාට් කෝලි එහි ‘ශ්‍රේෂ්ඨතම ඉන්දීය පිතිකරුවා’ ලෙස තේරී පත්විය.

මෙම නම් කළ ජූරි සභාව ශ්‍රේෂ්ඨතම නායකයා සොයා ගැනීමට දෙකට බෙදී ගියේය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවති වාර 11න් වාර 10ක දීම චෙන්නායි කහ හමුදාව හෙවත් Yellow Army අවසන් පූර්ව වටය දක්වා ගෙන යාමේ වගකීම දෝනි විසින් දරනු ලැබිණි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වාර 7ක දී නායකත්වය දැරූ රෝහිත් ශර්මා ඉන් වාර 4 දීම ශූරතාව දිනාගැනීමට සමත් විය. එම දක්ෂතා සැලකිල්ලට ගත් ජූරි සභාව තීරණය කළේ වඩාත්ම සාර්ථක නායකයා ලෙස ඔවුන් දෙදෙනාම නම් කිරීමට ය.

පුහුණුකරුගේ කාණ්ඩය තුළ චෙන්නායි සුපර් කිංග්ස් පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් ජයග්‍රාහකයා බවට පත්වූයේ කොල්කටා නයිට් රයිඩර්ස්හි ට්‍රෙවර් බේලිස් සුළු පරතරයකින් පරාජය කරමිනි.

පන්දු යවන්නන් අතර මුම්බායි ඉන්දියන්ස් වේගපන්දු තුරුම්පුව වන ලසිත් මාලිංග, තරග 122ක දී කඩුලු 170ක් දවාගෙන ඇති අතර ඔහු ඒකමතිකව ‘ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා’ බවට පත්විය. වන්කඩේ ක්‍රීඩාංගණය තුළ මාලිංගගේ දක්ෂතාවය හා ස්ථාවරත්වය මේ සඳහා ඉවහල් විය.

මෙම ජූරි සභාව සාමාජිකයන් 50දෙනෙකුගෙන් සමන්විත වූ අතර එයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් (20), ජ්‍යේෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදීන් (10), සංඛ්‍යාලේඛන විශේෂඥයන් සහ විශ්ලේෂකයන් (10), ක්‍රීඩා විකාශකයින් (7) සහ විස්තර විචාරකයන් (3) ඇතුළත් විය. ඔවුන් සෑම කාණ්ඩයකට ම අදාළ හොඳම ක්‍රීඩකයින් 10දෙනාගේ ලැයිස්තුවක් තෝරාගත් අතර ‘ශ්‍රේෂ්ඨතම නායකයා’ සහ ‘පුහුණුකරු’ යන කාණ්ඩ යටතේ 5දෙනෙකු බැගින් තෝරාගෙන තිබිණි.

සාමාජිකයන් 50දෙනෙකුගෙන් යුත් ජූරි සභාවේ ඡන්දය පදනම් කරගෙන නම් 3කින් යුත් කෙටි ලැයිස්තුවක් තෝරාගත් අතර එය හිටපු කොල්කටා නයිට් රයිඩර්ස් නායක හා දෙවරක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය ජයග්‍රහණය කළ ගෞතම් ගාම්භීර්, එංගලන්ත හිටපු නායක හා විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ පිතිකරු කෙවින් පීටර්සන්, ලෝක කුසලාන සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූර අෂිෂ් නේහ්රා, 2007 විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන් සහ නවසීලන්තයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්තර විචාරක ඩැනී මොරිසන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් හමුවේ සාකච්ඡා කර මෙම  ජයග්‍රාහකයින් තෝරාගෙන තිබේ.

හොඳම පන්දු ‍යවන්නන් 10දෙනාගේ නාම ලේඛනයේ සිටි ශ්‍රී ලාංකික ප්‍රවීණ ක්‍රීඩක මාලිංග, දකුණු අප්‍රිකානු වේගපන්දු ‍යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්, ඉන්දීය ක්‍රීඩක අෂිෂ් නේහ්රා, කොදෙව් ක්‍රීඩක සුනිල් නරීන් සහ ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරග 122ක දී කඩුලු 170ක් දවාගනිමින් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගත් මාලිංග, විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ මතය වෙනස් කිරීමට සමත් වූයේ තරග රටාව තුළ පිතිකරුවන්ගේ ආධිපත්‍යය බිඳ දමමිනි. විස්සයි විස්ස තරග රටාව තුළ සර්වකාලීන වීරයෙකු ලෙස මාලිංග හැඳින්විය හැකිය.

ශාරීරික යෝග්‍යතා ගැටලු රාශියක් තිබියදීත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ පසුගිය වසර 12ක කාලයේ දී දක්ෂ යෝකර් පන්දු නිවැරැදි එල්ලයට ම යැවීමට මාලිංග සමත්වී ඇති අතර එමගින් ඔහු ක්‍රීඩාවේ ඕනෑම අදියරක දී මුහුණදීමට අපහසු, වඩාත් ම තර්ජනාත්මක පන්දු යවන්නෙකු බවට පත්විය. මෙම තේරීමේ දී ලසිත් මාලිංග ‘ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා’ ලෙස ඒකමතික තේරීමට එය හේතු විය.

ඇත්ත වශයෙන්ම 2019 වසරේ දී මාලිංගගේ අවසන් ඕවරය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිව් වැනි වරටත් ශූරතාවය දිනාදුන්නේ අවසන් පන්දුවේ දී එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

ජූරි සභාවේ සාමාජිකයෙකු වන එංගලන්තයේ හිටපු නායක කෙවින් පීටර්සන්, මාලිංග සම්මානය සඳහා තෝරාගැනීමට ගත් තීරණයට සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.

“මම ලසිත් තෝරාගන්නවා. ඔහුගේ ක්‍රීඩාවේ සංඛ්‍යා දත්ත දිහා බලද්දී ඒක පහසුවෙන් පේන දෙයක්. ඔහු එම යොකර් පන්දුව නිරන්තරයෙන් භාවිත කළ ආකාරය දෙස බලන්න. ඒ නිසා හැමෝම ඒ ගැන කතා කරනවා. මාලිංග මගේ තේරීම. මම නරීන් තෝරාගන්නත් ඉඩ තිබුණා. නමුත් ඔහු කඩුලු ලබාගත්තේ දඟපන්දු ‍යවන්නන්ට සුදුසු තණතීරුවල. එසේම ඔහුගේ පන්දු ‍යැවීම තරමක සැකයකට හේතු වුණා. ඒ නිසා මම මාලිංග තෝරාගන්නවා.”

පන්දු 4ක දී කඩුලු 4ක් දවාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන ලසිත් මාලිංග මෙම සම්මානය දිනාගත්තේ බුවනේශ්වර් කුමාර්, අෂිෂ් නේහ්රා, රවිචන්ද්‍රන් අශ්වින්, අමිත් මිශ්‍රා, ඉම්රාන් තාහීර් සහ යුස්වේන්ද්‍ර චහාල් ද පසුකර යමිනි. 

කෙවින් පීටර්සන්ගේ ඡන්දය දිනාගැනීමට අමතරව මාලිංග ජූරි සභාවේ සාමාජිකයන් වන වන ඩීන් ජෝන්ස්, මැතිව් හේඩ්න්, ආකාෂ් චොප්රා, ග්‍රැහැම් ස්මිත්, සයිමන් ඩෝල්, ඉයන් බිෂොප් සහ ටොම් මූඩි යන අයගේ ප්‍රසාදය දිනාගැනීමට සමත් විය. ඔවුන් සියල්ලෝ ම ලසිත් මාලිංග ශ්‍රේෂ්ඨතම පන්දු ‍යවන්නන්ගේ ලැයිස්තුවේ ඔවුන්ගේ අංක 1 තෝරාගැනීම ලෙස නම් කළෝය.

– ThePapare.com

Leave A Reply

Your email address will not be published.