සෙබළුන් 5000ක් සිටින ප්‍රහාරක නෞකාවකටත් කොරෝනා පහර දෙයි!

අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් USS Theodore Roosevelt නෞකාවට ද නව කොරෝනා වෛරසයේ බලපෑම් එල්ලවී තිබෙනවා.

වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික භටයින් 25දෙනෙක්ට නව කොරෝනා වෛරසය වැලඳී ඇති බව තහවුරු වී ඇත.

මිට දින දෙකකට පෙර එම නෞකාවේ සිටි සෙබළුන් තිදෙනෙක්ට නව කොරෝනා වෛරසය වැලඳී ඇති බවට තහවුරු වූ බව පෙන්ටගනය නිවේදනය කර සිටියා.

කෙසේ වුවත් මේ වන විට නෞකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති බවයි නම සඳහන් නොකළ ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

USS Theodore Roosevelt සෙබළුන් 5000කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඔවුන් සියලුදෙනාට ම නව කොරෝනා වෛරසය වැලඳී ඇත්දැයි සොයා පරීක්ෂණ සිදු කිරිමට නියමිත ය.

මේ වන විට USS Theodore Roosevelt නෞකාව සිය මෙහෙයුම් සඳහා පැසිෆික් මුහුදු කළාපයේ රැඳී සිටින අතර නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් එය ගුආම් දුපත කරා රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී නෞකාවේ සිටින සියලු භටයින් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරිමට අමෙරිකානු බලධාරීන් පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.