වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය අමෙරිකාවේ.. ඊයේ වැඩිම මරණ ගණන ස්පාඤ්ඤයෙන්..

අද (27) උදෑසන 9.00 වන විට නව කොරෝනා වෛරසයෙන් ලොවපුරා ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 24,087කි. අසාදිතයින් සංඛ්‍යාව 532,224කි.

ගතවූ පැය 24ක කාලය තුළ දී ඉතාලියෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 712ක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 8,215ක් වේ.

මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව දෙවැනියට වැඩිම පිරිසක් මියගිය රට බවට ස්පාඤ්ඤය පත්ව තිබෙනවා. මේ වන විට ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 4,365ක් වාර්තා වී ඇත. ගතවූ පැය 24 තුළ දී එරටින් මරණ 718ක් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. එය ඊයේ දිනයේ එක් රටක වාර්තා වූ වැඩිම කොවිඩ් 19 රෝගීන්ගේ මරණ සංඛ්‍යාවයි. ස්පාඤ්ඤයේ දැනට වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිතයින් ප්‍රමාණය 57,786කි.

ඊයේ දිනයේ සහ අද උදෑසන 9.00 වන විට අමෙරිකාවෙන් ද නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 273දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 1,300ක් වන අතර රෝගීන් සංඛ්‍යාව 85,594ක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ. ඊයේ දිනයේ සහ අද උදෑසන 9.00 වන විට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ද අමෙරිකාවෙන් වන අතර ඒ 17,325කි. ඒ අනුව මේ වන විට ලෝකයේ වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වන රට බවට අමෙරිකාව පත්ව ඇත.

චීනයෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 81,340ක් හමුව ඇති අතර ඔවුන්ගෙන් 74,588ක් සම්පූර්ණයෙන් ම සුව කිරීමට ඔවුන් සමත්ව තිබේ. චීනයේ දැනට කොවිඩ් 19 ආසාදනයවීමෙන් මියගොස් ඇති සංඛ්‍යාව 3,292ක් වන නමුත් ගතවූ පැය 24 තුළ දී මියගොස් ඇත්තේ ආසාදිතයන් 5ක් පමණි. එමෙන් ම නව රෝගීන් 55දෙනෙක් මෙම පැය 24ක කාලය තුළ දී අලුතින් හදුනාගෙන ඇත.

තව ද ඊයේ දිනයේ සහ අද උදෑසන 9.00 වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් වැඩි වශයෙන් වාර්තා වූ හා සීඝ්‍රයෙන් වෛරසය පැතිර යන රටවල් ලෙස පිළිවෙළින් අමෙරිකාව (17,325), ස්පාඤ්ඤය (8,271), ජර්මනිය (6,615), ඉතාලිය (6,203), ප්‍රංශය (3,922), ඉරානය (2,389), එංගලන්තය (2,129), ඔස්ට්‍රියාව (1,321), බෙල්ජියම (1,298), තුර්කිය (1,196), නෙදර්ලන්තය (1,019) සහ ස්විස්ටර්ලන්තය (914) දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට නව කොරෝනා ආසාදිතයන් 106දෙනෙක් හදුනාගෙන ඇති අතර එයින් 7දෙනෙක් සුවවී රෝහලෙන් පිටව ගොස් තිබේ. එමෙන් ම ස්විස්ටර්ලන්තයෙන් මෙම වෛරසය ආසාදනයවීමෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වන අතර 59 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මියගොස් ඇත්තේ පසුගිය 25 වනදායි.

Leave A Reply

Your email address will not be published.