කොරෝනා වෛරසයට සියවස් ගණනාවක් පැරණි වෛද්‍ය ක්‍රමයක් අත්හදාබැලීමට යයි!

නව කොරෝනා වෛරසය ආසාදනයවී සිටින රෝගීන් සඳහා සියවස් ගණනක් පැරණි වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයක් අත්හදා බැලීමට අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ රෝගීව සිට සුවය ලැබූ පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා රුධිර ප්ලාස්ම එම රෝගයෙන්ම පෙළෙන පුද්ගලයෙකුට ලබාදීමේ ක්‍රමවේදයකට අනුව මෙය ක්‍රියාත්මක කිරීමටයි අමෙරිකානු බලධාරීන් බලාපොරොත්තුව සිටින්නේ.

සියවස් ගණනක් පැරණි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වන මෙය චීනය විසින් සිය කොරෝනා රෝගීන් සඳහා අත්හදා බලා ඇත. සුවය ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයින් දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන්ව යළි පරීක්ෂා කර බලා ඔවුන්ගේ රුධිර ප්ලාස්ම ලබාගැනීම සිදුකරන අතර පසුව එය දැනට රෝගීව සිටින පුද්ගලයින්ට ලබාදීම සිදුකරනු ලබයි.

කොරෝනා වෛරසයෙන් සුවය ලද පුද්ගලයින්ගේ ශරීරයේ ඇති ප්ලාස්මවල තිබෙන ප්‍රතිදේහයන්වලට කොරෝනා වෛරසය සමග සටන් කිරීමේ ශක්තිය රෝගීයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ලබාදීමට හැකි බවයි වෛද්‍යවරුන් මතය වන්නේ.

නිව්යෝර්ක් නගරයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාධනයවූ රෝගීන් 25,000 කට අධික පිරිසක් වාර්තා වන අතර ඔවුන්ට රුධිර ප්ලාස්ම ලබාදීමේ ක්‍රමවේදය හරහා ප්‍රතිකාර ඇරඹීමට හැකි බව එහි ආණ්ඩුකාර Andrew Cuomo ඉකුත් සඳුදා ප්‍රකාශ කර සිටියා.

කොරෝනා වෛරසය වැලදී ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය යොදා ගෙන අත්හදා බැලීම සිදුකළ යුතු බවයි වෛද්‍ය මතය වී ඇත්තේ. ඒ මේ දක්වා කොරෝනා වෛරසයට නිසි ප්‍රතිශක්තිකරණ ක්‍රමයක් හෝ ඖෂධයක් සොයාගෙන නොමැති පසුබිමක ය.

ඒ අනුව ඉදිරියේදී අමෙරිකානු රසායනාගාර වලට කොරෝනා වෛරසය වැලදී සුවය ලද පුද්ගලයින්ට සිය රුධිර සාම්පල් පරිත්‍යාග කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

Leave A Reply

Your email address will not be published.