පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලා පලක් නෑ – ගම්මන්පිල

පාර්ලිමේන්තු විසුරුවා නැති රටවල පවා මේ ආපදා තත්ත්වයත් සමග එම පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති තත්ත්වයක් පවතිද්දී අපේ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කරන ඉල්ලීම පලක් ඇති ඉල්ලීමක් නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැති විශේෂ සර්ව පාක්ෂික රැස්වීමේ දී පවසා ඇත.

පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සර්ව පාක්ෂික රැස්වීමේ දී ඉල්ලීමක් කළ අවස්ථාවේ අදහස් දක්වමින් ගම්මන්පිල මහතා මෙසේ පවසා තිබේ.

කැනඩාව ඇතුළු යුරෝපයේ රටවල් පවා සිය පාර්ලිමේන්තු අත්හිටුවා ඇති අවස්ථාවක කිසි සේත්ම විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීමෙන් පළක් නැතැයි ඔහු පෙන්වා දී තිබේ.

එසේ පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත් 225දෙනෙක් ද තවත් නිලධාරින් ද ගෙන්වා සමාජයට නරක ආදර්ශයක් දීම සිදු විය යුතු නැති බවත් දිනකට රුපියල් මිලියන හතක පාර්ලිමේන්තු වියදම ද පවතින වසංගත තත්ත්වය මැඩලීමට යෙදිය යුතු බවත් හෙතෙම පෙන්වා දී තිබේ.

කොරෝනා රෝගය මැඩ පවත්වමින් රට යථා තත්ත්වයට පත් කිරීමේ දී පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවීමේ වරදක් නැතැයි පෙන්වා දී ඇති ගම්මන්පිල මහතා මේ වනතුරුත් නිලධාරින් එවැනි අවශ්‍යතාවයක් දන්වා නැතැයි ද පවසා ඇත.
මෙම රැස්වීමට සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා එහි දී යෝජනා කර ඇත්තේ අතරමැදි විසඳුමක් ලෙස පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස යෝජනා කර ඇති අතර එය සියලුදෙනා පිළිගෙන පක්ෂ නායකයින් යළි රැස්වන දිනය දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.