බොරු කියා රාගම රෝහලට ඇතුළු වූ කොරෝනා රෝගියාට නඩු

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටිය දී තමාට හෘදයා බාධයක් වැලඳී ඇතැයි අසත්‍ය පවසමින් ‍උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළු වූ පුද්ගලයාට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට නඩුවක් ගොනු කර තිබේ.

ඊයේ(19) දිනයේ දී තමාට හෘද රෝගයක් ඇති බව පවසමින් රාගම රෝහල වෙත පුද්ගලයෙකු ඇතුළත් වී ඇත්තේ ඔහුට කො‍රෝනා වෛරස රෝගී ලක්ෂණයන් පවතින අවස්ථාවක බවද නියෝජ්‍ය පොලිස්‍පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පුද්ගලයා විසින් මෙම ක්‍රියාව චේතනාන්විතව සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබීම හේතුවෙන් ඔහුට හා එම වරද සිදු කිරීමට අනුබල දුන් සියලු දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එම සිදුවීම සමඟ ‍ආදළ රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරු, හෙදියන් හා අදාළ වාට්ටුවේ සිටි රෝගීන් සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියට භාජනය කිරීමට සිදුවු බවත් පැවසු ඒ මහතා ඔහුට ඒ සඳහා අනුබල දුන් අය සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගන්නා බවද පැවසීය.

රාගම රෝහලේ සිදුවු මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් සිදු කරන බවත් පැවසු ඒ මහතා, මේ වන විට මෙම පුද්ගලයාට රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ද කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.