ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට සැක සහිත සියළුම පුද්ගලයන් පරීක්ෂණවලට භාජනය කරන මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ග්‍රෙබ්‍රේසස් ලොව සියළුම රටවල බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

මෙම වසංගත තත්ත්වය ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර වෛරසය හේතුවෙන් දින 15ක් සඳහා ප්‍රංශය වසාදැමීමට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පියවර ගෙන තිබේ.

ලොව රටවල් 150කට වැඩි සංඛ්‍යාවක පැතිර ඇති නව කොරෝනා වෛරස් වසංගතයෙන් අද වනවිට සිදුව ඇති මරණ ගණන 6,700 ඉක්මවයි.

වෛරසය ආසාදිත සමස්ත ගණන 174,400 ඉක්මවන අතර සුවය ලැබූ පිරිස 79,000 කට අධිකයි.

ඊයේ (16) මධ්‍යම රාත්‍රිය වන විට චීනයෙන් නව කොරෝනා ආසාදිතයන් 21දෙනෙක් වාර්තාවී තිබූ අතර මරණ 13ක් සිදුව තිබුණි.

ඊයේ දිනය තුළදී පුද්ගලයන් 930දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

මේ අතර නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා චීන රජය පනවා තිබූ රෙගුලාසි උල්ලංඝනය කළ පුද්ගලයෙක්ට ෂැංහයි අධිකරණයක් ඊයේ වසරකුත් මාස තුනක සිර දඬුවමක් නියම කළේය.

චීනයෙන් පසු වැඩිම කොරෝනා බලපෑමට ලක්වූ ඉතාලියෙන් මරණ 2,158ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයින් ගණන 27,980ක්.

ඉතාලි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ ඊයේ දිනය තුළ තවත් කොරෝනා මරණ 349ක් එරටින් වාර්තා වී ඇති බවයි.

මේ අතර ඉතාලියට තවත් සෞඛ්‍ය විශේෂඥයන් කණ්ඩායමක් සහ වෛද්‍ය ආධාර තොගයක් යැවීමට චීන ජනාධිපති ෂී ජින් පින් තීරණය කර තිබේ.

ඉතාලියට පසුව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමට ලක්ව ඇති අනෙක් යුරෝපීය රාජ්‍යය වන්නේ ස්පාඤ්ඤයයි.

ආසාදිතයින් 7,844ක් හමු වී තිබෙන අතර මරණ සංඛ්‍යාව 288 දක්වා ඉහළ ගොස් ඇත්තේ, ඊයේ දිනයේ දී නව මරණ 97කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින්.

මේ අතර ප්‍රංශයෙන් ආසාදිතයින් 6,600 ක් සහ මරණ 148ක් වාර්තා වේ.

පවතින වාතාවරණය පාලනය කිරීමට දින 15ක් රට වසා දැමීමට එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තීරණය කර තිබේ.

එම කාලය තුළදී පොලිස් නිලධාරීන් ලක්ෂයක් පමණ රට පුරා පරීක්ෂාකිරීම් සඳහා යොදවන අතර ජනතාවට අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නිවෙස්වලින් බැහැර නොයන ලෙස දැනුම්දී ඇති බව සඳහන්.

එමෙන්ම පළාත් මැතිවරණයේ දෙවන අදියර අත්හිටුවීමටද බලධාරීන් පියවර ගෙන තිබුණි.

එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 1,543 දෙනෙකු වාර්තා වන අතර සිදුව ඇති මරණ ගණන 35ක්.

වෛරසය තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහා පුද්ගලයන් අතර සබඳතා සීමා කරන ලෙසත් අත්‍යවශ්‍ය නොවන ගමන්බිමන්වලින් වැළකී සිටින ලෙසත් එරට අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පෝලන්තයේ පරිසර ඇමතිවරියද නව කොරෝනා වෛරසයට ගොදුරුවී තිබේ.

ඊයේ දිනයේදී ඉරානයෙන් නව පුද්ගල මරණ 129ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 853 දක්වා ඉහළ දමමින්.

අමෙරිකාවෙන් වාර්තා වන වෛරස ආසාදිතයින් ගණන 3,680ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිදුව ඇති මරණ ගණන 80ක්.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා පුද්ගලයන් 10කට වැඩි පිරිසක් සහභාගිවන ඉසව් නවත්වන ලෙසයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටින්නේ.

ඉන්දියාව තුළද ත් නව කොරෝනා වෛරසය දිගින් දිගටම ව්‍යාප්ත වෙමින් පවතින අතර මේ දක්වා ආසාදිතයන් 107 ක් සහ මරණ දෙකක් වාර්තා වී තිබේ.

මේ සුප්‍රසිද්ධ ස්මාරකයක් වන ටජ් මහල මාර්තු 31වන දා තෙක් සංචාරකයන් සඳහා වාසදැමීමටත් පියවර ගෙන තිබේ.

අප්‍රේල් 26වන දාට යෙදී තිබූ සර්බියාවේ මහමැතිවරණය කල්දැමීමට පියවරගෙන තිබේ.

නව මැතිවරණ දිනය ජාතික ආපදා තත්ත්වය අවසන්වූ පසු නියම කරන බවයි එරට බලධාරීන් පවසන්නේ.

මේ අතර ලබන මැයි මාසය තෙක් විදේශිකයන්ට රට තුළට ඇතුල්වීම රුසියාව තහනම් කර ඇති අතර කැනඩාව, ග්වාතමාලාව, සුඩානය ඇතුළු රටවල කිහිපයක් සිය දේශ සීමා වසා දැමුවේය.

පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ස්විට්සර්ලන්තයද හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

මැලේසියාවෙන් මේ වන විට නව කොරෝනා වෛරස ආසාදිතයන් 550කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර පුද්ගලයන් 43දෙනෙක් සුවය ලබා තිබේ.

කෙසේ නමුත් බලධාරීන් තීරණය කර ඇත්තේ වෛරසය තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහා සති දෙකක කාලයක් රට වසා දැමීමටයි.

රටේ ජනතාවට විදෙස් ගමන්ද තහනම් කර ඇති අතර ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළඳසැල් හැර සෙසු සියළුම කඩසාප්පු වසා දැමෙනු ඇති.

මේ අතර ඊජිප්තුවද බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන පරිදි සියළු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.‍

නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට සැක සහිත සියළුම පුද්ගලයන් පරීක්ෂණවලට භාජනය කරන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ග්‍රෙබ්‍රේසස් ලොව සියළුම රටවල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මෙම වසංගත තත්ත්වය ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් බව පැවසූ ඔහු සැකසහිත පුද්ගලයන් පරීක්ෂා කිරීම ඉහළ දැමීම තමන්ට ලබාදිය හැකි ප්‍රධානම පණිවුඩය බවත් මෙහිදී අවධාරණය කළේය.

ada derana

Leave A Reply

Your email address will not be published.