එංගලන්ත ක්‍රිකට් පිල යළි සියරට බලා යයි

ටෙස්ට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ යළි එංගලන්තය බලා පිටත්ව ගියේය.

ඒ නව කොරෝනා රෛවසය හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගවලිය අවලංගු කිරීමත් සමඟින්.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ මාර්තු මස 19 වැනිදායි.

එහෙත් ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට ද බලපෑම් කිරීම හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා කිරීමෙන් අනතුරුව තරගාවලිය අවලංගු කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව තරගාවලිය අවංගු කිරීමත් සමඟ එංගලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රීයේදී දිවයිනෙන් පිටත්ව ගියේය.

කෙසේ වෙතත් තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සහ සහයක කණ්ඩායම් වල ශාරීරික සහ මානසික යහපැවැත්ම ඉතා වැදගත් බවත් ඔවුන් හැකි ඉක්මනින් ඔවුන්ගේ පවුල් වෙත භාර දීමට කටයුතු කර බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.