පුළුවන් නම් තනි අතෙන් හරි මැච් එක දිනවනවා – මාලිංග

තමන් විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් කළ ද තම උපරිම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මාලිංග පවසා සිටියේ, විස්සයි විස්ස තරග තවත් ඇත්තේ ඉතා කෙටි ප්‍රමාණයක් බවයි.

ඒ නිසාවෙන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ස්ථාවරත්වයක් ලබා දීම වැදගත් බවත් පැවසු මාලිංග, පුහුණුකරුට මාස 6 ක පමණ කාලයක් වැඩ කිරීමට ඉතිරිව ඇතැයි ද පැවසීය.

විස්සයි විස්ස නායකයා වශයෙන් තම බලාපොරොත්තුව පුහුණුකරුට උපරිම සහයෝගය ලබා දීම බවත් පැවසු මාලිංග 2014 දී ලංකාව ලෝක කුසලානයක් ජයගත් බවත් කියා සිටියේය.

ස්ථානගත කිරීම් අනුව අංක 5ටත් අඩු ස්ථානයක සිට එවැනි ජයග්‍රහණයක් ලබා ගත්ත ද අද වන විට විශාල පසුබෑමකට ලක්ව මේ වන විට සියලු දෙනාට අපි තරග පරාජය වෙනවා යන්න දැනෙන්න පටන් ගෙන ඇතැයි ද පැවසීය.

එවන් අවස්ථාවක දී තමා කණ්ඩායම බාර ගත් බවත් පැවසු මාලිංග, ක්‍රිකට් කණ්ඩයම් ක්‍රීඩාවක් වුවත් පෞද්ගලික හැකියාවන් මත ඉදිරි පිලට අභියෝගයක් ලබා දීමට හැකියාව හිමිවෙන බවත් කියා සිටියේය.

පසුගිය කාලය තුළ දී කණ්ඩායමක් ලෙස ක්‍රීඩකයින්ගේ පෞද්ගලික හැකියාවන් කණ්ඩායමට සාර්ථකව ලැබී නොමැති බවත් පැවසු මාලිංග තමාගෙන් විස්සයි විස්ස තරග සඳහා ලබා ගැනීමට අවශ්‍ය දෙයක් ඇත්නම් එය ලබා ගන්නා ලෙසත් පැවසීය.

තමාව කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් කලත් තමාගෙන් ආයතනයට බලාපොරොත්තු වන සහයක් ඇත්නම් එය ලබා දෙන බවත් මාලිංග කියා සිටියේය.

තමා ක්‍රීඩාවට ආදරේ කරන බවත්, තමාට හැකි නම් තනි අතෙන් හෝ ක්‍රීඩා කර තරගය දිනවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

– අද දෙරණ

 

Leave A Reply

Your email address will not be published.