නාටකයේ සුල මුල ටික ටික එලියට..තානාපති කාර්යාල සේවිකාව සමග ශානි අබේසේකර, නිශාන්ත සිල්වා, ක්‍රිෂාන්ත කුරේ ඇතුළු පිරිසක් දිගින් දිගටම දුරකථන සංවාදවල

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාවට අයත් ජංගම දුරකථනය විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කළා .

මෙම කාන්තාව ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ සේවය කරන බැවින් ඇයගේ ජංගම දුරකථනය තානාපති වරප්‍රසාද සම්බන්ධයෙන් ඇති වියානා සම්මුති පනතේ 38(2) වගන්තිය අනුව පරික්ෂාවට ලක්කළ නොහැකි බව විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා පවසා සිටියා.

කෙසේවෙතත් රජයේ ජේෂ්ඨ නීතිඥවරයා පවසා සිටියේ රස පරික්ෂකවරයා වෙත ජංගම දුරකථනය යොමු කරන්නෙ විමර්ශන වලට අදාළව තොරතුරු ලබා ගැනීමට බවයි. කෙසේවෙතත් මහේස්ත්‍රාත්වරිය අවධාරණය කර සිටියේ වියානා සම්මුති පනතේ 38(2) වගන්තිය අනුව මෙරට රාජ්‍ය පිළිගනු ලබන වරප්‍රසාද පමණක් මෙම කාන්තාවට හිමි වන බවත් ඒ අනුව අපරාධ නඩුව විමර්ශන සදහා ඇයගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමට මෙම පනතේ ප්‍රතිපාදන බාධාවක් නොවන බව මහේස්ත්‍රාත්වරිය පවසා සිටියා.

මේ අතර මෙම ජංගම දුරකථනය පරික්ෂා කිරීමේ දී ස්විට්සර්ලන්ත දූත මණ්ඩල කාර්‍යන් වලට මැදිහත් නොවන ආකාරයට විස්තර ලබා ගෙන රහස්‍ය වාර්තාවක් ලෙසට අධිකරණයට විශ්ලේෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය රස පරික්ෂකවරයාට නියෝග කළා .

මේ අතර ලක්නා පරණමාන්න නැමැත්තිය නමින් ඇති දුරකථන සිම්පතක් භාවිත කරමින් ලේක් හවුස්`ආයතනයේ සේවය කළ දරීෂා බැස්ටියන් නැමැත්තිය ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට දුරකථන ඇමතුම් ලබා දී ඇති බවත් ලේක් හවුස්` හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ, ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන අය ජාලයක් ලෙසට එකිනෙකාට පසුගිය නොවැම්බර් මස 19 සහ නොවැම්බර් 30 අතර තුළ දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියා.

දරීෂා බැස්ටියන් සහ ක්‍රිෂාන්ත කුරේ මේ වන විට විදේශ ගත වී ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය පෙබරවාරි මස 11 දා ට කල් තබන ලැබුවා.

තමා සුදු පැහැති වාහනයකින් පැහැර ගැනීමට ලක්වූ බවට පවසමින් රජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම කාන්තාව මේ වන විට ඇප මත මුදාහැර ඇත.

Leave A Reply

Your email address will not be published.