ට්‍රම්ප්ගෙන් උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ඒ උතුරු කොරියාව නිකුත් කරනු ලැබූ විශේෂ නිවේදනයක් මුල්කරගෙනයි.

විශාල වැදගත්කමක් ඇති සාර්ථක පරීක්ෂණයක් සිදුකළ බවට උතුරු කොරියාව නිවේදනය කිරීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට බරපතළ අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ උතුරු කොරියානු නායකයා සතුරු ප්‍රතිපත්තියක සිට කටයුතු කරන්නේනම් සහ න්‍යෂ්ටික වැඩපිළිවෙල යළි ආරම්භ කරන්නේනම් ඔහුට සියල්ල අහිමිව යනු ඇති බවයි.

සොහේ නුවර පිහිටි චන්ද්‍රිකා ගුවන් ගතකිරීමේ අංගනයේදී ඉතා වැදගත් පරීක්ෂණයක් සිදුකළ බව උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

කෙසේ වෙතත් එම අත්හදා බැලීම සිදුකළ පරීක්ෂණ අංගනය වසාදමන බවට උතුරු කොරියාව මීට පෙර අමෙරීකානු බලධාරීන්ට පොරොන්දුවී තිබුණි.

උතුරු කොරියාව මෙම අත්හදා බැලීම සිදුකරන්නේ ඒකපාර්ශ්විය න්‍යෂ්ටික අවිහරණය සඳහා පමණක් අවධානය යොමු කිරීමෙන් ඉවත් වීම සඳහා අමෙරිකාවට ලබාදී ඇති වසරක කාලය අවසන් වීමට ආසන්න වෙමින් තිබියදී වීම විශේෂත්වයක්.

න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධව අමෙරිකාව සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් නව මාවතක් තෝරාගන්නා බවට ප්යෝයැන් පාලනය අනතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත් සම්බාධක වලින් පීඩාවට පත්ව සිටින උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හරින තුරු ඔවුන්ට කිසිදු සහනයක් ලබා දීමට අදහසක් නොමැති බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.