ඒඩ්ස් යැයි ගමෙන් කොන්කළ අහිංසක පවුලක කඳුළු කතාව

ජීවිතයට ලැබෙන දුක වැඩිපුර ශලිනිලා ගණන් නොගත්තේ උපන්දා සිට දුක ඔවුන් හා තනියට සිටි නිසාය. ශලිනිට සහෝදරියන්ම පස් දෙනෙකි. කුඩා කල සිට ඔවුන් සය දෙනාවම ජීවත් කරමින් ඉගැන්වූයේ කුසුමලතා අම්මාත් පියතිස්ස තාත්තාත් කුලී වැඩක් කර උපයන පොඩි මුදලිනි. ඒත් එකට වැටී එකට සිනා සී අඬා කුසගින්නේ වුව ඔවුන් සතුටින් සිටියහ.

ගලේවෙල අලුත්ගම නීරංගමුවේ සිටි ශලිනි පියතිස්සලාගේ ඒ දුප්පත් සතුටත් මීට වසර අටකට කලින් ඉරණම විසින් උදුරා ගත්තේය. ඒ ජීවිත හත අටකට යෝධ සෙවණැල්ලක්ව රැකවරණය දුන් ඔවුන්ගේ පියා පියතිස්සගේ හුස්ම ටික ළිඳක් පතුලේ සිර වූ නිසාය.

එතැන් පටන් ජීවිතයට තිබූ සවිය නැති වී ගිය හෙයින් පිරිමියෙක් නැති ගෙදරක කුසුමලතා අම්මා, තාත්තා කෙනෙක් වුණාය. ඒත් තාත්තා කළ මෙහෙය කරන්නට කුසුමලතා අම්මාට ඇත්තටම නොහැකි විය. ඒ නිසාම පවුලේ දෙවැනි දියණිය වූ ශලිනි ඉගෙනීම නවතා දමා රැකියාවක් කරන්නට සිතුවාය. හිතේ හයියට එසේ සිතුවාට එය ඒ තරම් පහසු වූයේ නැත. ඒ, ඒ වන විට ඇගේ වයස අවුරුදු දාසයක් වූ නිසාය. ඒත් ශලිනි උත්සාහය අත්හැරියේ නැත. නීතිවිරෝධී බව දැන දැනත් අඩු වයස වැඩි වයසක් කර ඒජන්සියක් හරහා ඇය මැද පෙරදිග රැකියාවකට ගියේ දුක් විඳින අම්මාගේත් සහෝදරියන්ගේත් ජීවිතවලට සතුටක් දෙන්නටයි. එදා සිට ශලිනි ඒ ගෙදරට අම්මා වුණාය. එතැන් පටන් ජීවත් වීම බරක් නොවී අවුරුද්දෙන් අවුරුද්ද ගෙවී ගියේය. ඒ කාලය අවුරුදු 7ක් වද්දී ශලිනි රට යන විට පුංචිම වයසේ සිටි 8 හැවිරිදි කිත්මි නැගණියත් පාසල් යන්නට පටන් ගෙන තිබුණි. ඒ වන විට ගලේවෙල නීරංගමුව විද්‍යාලයෙන් ඉගෙන ගනිමින් සිටියේ කිත්මී සහ 13 හැවිරිදි තිළිණිත් 14 හැවිරිදි දියණියත් යන තිදෙනාය. ඒ අතරතුරේ ශලනිගේ අක්කා චිත්‍රා විවාහ වී දරුවකුද ලැබ සිටියාය. අවුරුදු හතක් ගෙවන තුරුත් ජීවිතයට බරපතළ ප්‍රශ්නයක් නොවී ගලාගියත් ආයෙත් ශලිනිලාගේ පවුලට අවාසනාව අත වන්නට පටන් ගත්තේ නොසිතූ ලෙසිනි. ඒ ඇයට එරටදී සමේ රෝගයක් වැලඳීමත් සමගය. ඊට ප්‍රතිකාර ලබන්නට ශලනිට ලංකාවට එන්නට සිදුවිය. ඊට මීට මාස නවයකට කලිනි. එසේ පැමිණි ශලනි දඹුල්ල මහ රෝහලෙන් සමේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරන්නට ගත්තාය. එය සුව කර ගැනීමට හැකි සමේ රෝගී තත්ත්වයක් බවට වෛද්‍යවරයාගේ සහතිකය ඇයට ලැබුණෙන් ඒ රෝගය ගැන ශලනි එතරම් බිය වූයේ නැත.

‘‘මං එවපු සල්ලිවලින් අවුරුදු ගාණක් අම්මයි නංගිලයි ජීවත්වුණා. ඒ නිසා ඉතුරුවක් වුණේ නෑ. මං ලංකාවට ආවට පස්සේ ආයෙත් අපට ජීවත් වෙන්න සල්ලි ප්‍රශ්න ඇතිවුණා. ඒ හින්දා අපේ අම්මව රට යැව්වා. අම්මාට මම පොරොන්දු වුණා අම්මා ලංකාවට එනකං නංගිලා බලා ගන්නම් කියලා.’’

ශලනිට නංගිලා බලා ගැනීම එතරම් බරපතළ කාරණාවක් නොවීය. ඒ වන විට අක්කා විවාහ වී පවුලෙන් පිට සිටි නිසා ඇයට බලා කියාගෙන රැකගන්නට සිටියේ පොඩි නංගිලා සිව් දෙනා පමණි. ඒත් ඔවුන්ගේ ජීවිතවලට එබෙන අවාසනාව නම් නිමක් නොවීය. නිවසට ඇති එකම කාමරයේ එකට ගුලි වී නිදන අක්ක නගාලා වැඩිදුර නොසිතූ කරුණක් විය. ඒ ශලනිගේ සමේ රෝගය තව​ කෙනකුට බෝ වෙතැයි කියාය.

‘‘මම මේ ලෙඩේ බෝ වෙනවා කියලා දන්නේ නෑ. දොස්තර මහත්තුරු කිව්වා මේක හොඳ කරන්න පුළුවන් කියලා. අපි ඔක්කෝටම වැටිල ඉන්න තියෙන්නේ අපේ ගෙදර එක කාමරයයි. ඒ නිසා අපි ඔක්කොමල නිදා ගන්නේ එකට. අඳින්න ඇඳුම් ගොඩක් නැති නිසා ඔක්කොමලා එක ඇඳුම් බෙදා හදාගෙන අඳින්නේ. ඒ නිසා මගේ පුංචි නංගි එක්කයි අක්කගෙ පුතාටයි මේ ලෙඩේ බෝ වුණා. ඒ වතාවේ අපි තුන්දෙනාම බෙහෙත් ගන්න දඹුල්ල ඉස්පිරිතාලෙට ගියා. ඒක දැකලා මේ ගමේ මිනිස්සු කතාවක් පතුරවලා අපිව කොන් කරන්න ගත්තා. අපිට ඒඩ්ස් හැදිලා කියලා.’’

ඒ කොන් කිරීම එසේ මෙසේ කොන් කිරීමක් නොවීය. ඒඩ්ස් රෝගය වැලඳුනුන් ලෙසට හංවඩු ගසා ඒ ගමෙන් ඔවුන් පිට කර ගන්නට ගම්මු බොහෝ වලිකෑහ. ඒ කටකතාවකට පණ දී මිස ඇත්තටම රෝගී තත්ත්වය මොකක්දැයි දැනගෙන නොවේ.

‘‘මට තවම රෝගය සුවයක් නැති එක ඇත්ත. ඒත් මේ විදිහට මගේ ගෙදර අයට මේ ගමේ මිනිස්සු මෙහෙම පහර ගහන එක, අපහාස කරන එක, සලකන එක වැරදියි. ඒක හරි අසාධාරණයක්. ඒක අපිට හරිම මානසික වදයක්.’’

ශලිනි පියතිස්ස කියන්නේ වේදනාබර හදවතෙනි. මිනිස්සු කටට ආවට කතා පතුරුවා හැරියාට මිනිස්සුන්ව අවුස්සා පෙල ගැස්සුවාට ශලිනිලාට නොසැලී හිඳින්නට මුල් කාලයේ පුළුවන්කම තිබුණි. ඒත් ටිකින් ටික මුළු ගමම ඔවුන්ට අවි අමෝරන්නට පටන් ගත්තෝය. එහි බරපතළම සිද්ධිය වූයේ ශලනියේ පුංචි නැගණියන්ගේ පාසල් අධ්‍යාපනයටද නැවතීමේ තිත වැටීමයි. නීරංගමුව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි දැරියන් තිදෙනාට විදුහල්පතිවරයා විසින් පාසලේ දොර වසා දමා තිබුණි.

‘‘නංගිලා දෙන්නා ඉස්කෝලේ ගිය නැති දවසක විදුහල්පතිතුමා මට එන්න කියලා වෙනම ඩෙස් එකක් පුටුවක් වෙන් කරගෙන පාවිච්චි කරන්න කියලා කිව්වා. මං එහෙම ලෑස්ති කර ගත්තා. ඊට පස්සේ අනිත් ළමයි ඔක්කොම ඉස්සරහ මට කිව්වා ඕගොල්ලන්ට සමාජ රෝගයක් තියෙනවා කියලා. ඒ වෙලාවේ අනිත් ළමයි ඔක්කොම මාව පිළිකුල් කළා කියලා දැනුණා. මගේ හොඳම යාළුවෝ, ගුරුවරු කවුරුත් මා දිහා බැලුවේ අමුතු විදිහට. මම ඒත් ඉතින් වෙනම ඩෙස් එකකට පුටුවකට වෙලා පන්තියේ ඉන්නැද්දි විදුහල්පතිතුමා මට කතා කරලා කිව්වා තවදුරටත් ඉස්කෝ​ලේ ඉන්න එපා. පොත් ටිකත් අරන් ගෙදර යන්න කියලා. හැබැයි ලෙඩේ හොඳ වුණු දවසට ආයේ එන්න කියලා කිව්වා. ඊට පස්සේ අක්කලා​ දෙන්නවත් ඉස්​කෝලෙට ගෙන්නලා අනිත් නංගිලා දෙන්නා ආයේ ඉස්කෝලේ එවන්න එපා කියලා, කියලා තිබුණා.’’

පුංචි වයසේ ඇසූ විදුහල්පතිවරයා කියූ දරන්න බැරි කතාව ගැන ඒ කීවේ ශලිනිගේ ලොකු නංගීය.

‘‘ඒ දරුවන්ගේ අක්කා කෙනෙක් රට ඉඳන් ඇවිත් රෝගී තත්ත්වයක් තියෙනවා කියලා අපට ආරංචි වුණා. ඒක අනිත් ළමයින්ට පැතිරෙයි කියලා මම එයාලට කිව්වා ප්‍රතිකාර ලබාගෙන පසුව පාසලට එන්න කියලා. මම මෙහෙම කිව්වේ පී.එච්.අයි. මහත්තයටත් කියලයි. ඔවුන්ට ඒඩ්ස් තියෙනවා කියලා මම කිව්වේ නෑ.’’

දරුවන්ගේ පාසල් ගමන නතර කරන්නට විදුහල්පති ජනක කිත්සිරි ගත් තීන්දුව ගැන ඔහු කීවේ එවැන්නකි. කෙසේ වෙතත් මේ සිදුවීම් අතරේ ශලිනිගේ අක්කා චිත්‍රාගේ විවාහයත් දෙදරා ගොස් තිබුණි. ඇ​ගේ සැමියා ඇයත් දරුවාත් හැර දමා ගොස් තිබුණේ මේ ඒඩ්ස් කතාව ආරංචි වී බව ඇය කියයි. ඔවුන්ට පාසල් දොර වැසුණා සේම ඒ වන විට ගමේ බොහෝ තැන්වල දොරවල් වැසී තිබුණි.

‘‘ළිඳකින් වතුර ටිකක් ගන්න දෙන්නේ නෑ. කඩේකින් බඩුවක් ගන්න විදිහක් නෑ. ගමනක් යන්න ත්‍රීවීල් එකකට නංවා ගන්නේ නෑ. අපේ ගෙදරට එන ලියුමක් දෙන්න තැපැල් පියුන් එන්නේ නෑ. අපි පාරේ යනවා දැක්කොත් කට්ටිය කෙළ ගහලා කුණුහරුපෙන් බණිනවා. ඒ විතරක් නෙවෙයි, ගමේ කිසි කෙනෙක් අපිත් එක්ක කතා කරන්නෙත් නෑ. ඒ අතරේ අම්මා සල්ලි එවනකම් ඉන්න ඕන අපි ජීවත් වෙන්න. හැමදාම එක විදියට සල්ලි එවන්න බෑ. සල්ලි පරක්කු වෙනකොට අපිට කන්න බොන්න විදිහකුත් නෑ. අපි බඩගින්නේ හිටපු වේල් අනන්තයි.

මෙහෙ කඩවලින් බඩු දෙන්නේ නැති නිසා දුර ගිහින් තමයි හාල් කිලෝ එකක් හරි අරන් එන්නේ. ඒ තැන්වලටත් මේ කතා පැතිරිලා. අපි ඒ කඩවලට යනකොට ඒ අයත් එක එක කතා කියනවා. අපි නැහැදිච්ච පවුලක් කියලයි හැමෝම අපි දිහා බලනවා. මේ නිසා අපිට ජීවත් වෙන්න එපා වුණා. ඒ හින්දයි මේ ගේ ඇතුළේ අපි හත් දෙනාම මැරෙමු කියලා කතා වුණේ.’’

කතාවේ නොනැවතී මේ එක් දියණියක් දිවි හානි කර ගන්නටද පෙලඹී තිබුණි. දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාව නිසා ඇයට යළි ජීවත්වීමේ වාසනාව ලැබී තිබුණේය.

‘‘අපි මේ ගමේ මිනිස්සු කියන කතාව බොරුවක් කියල පෙන්නන්න නොකරපු දෙයක් නෑ. අන්තිමට කොළඹ ගිහින් ලේ පරීක්ෂාවකුත් කළා. ඔය කියන ඒඩ්ස් නෑ කියලා වෛද්‍ය වාර්තා අපිට දීලා තියෙනවා. අපි ප්‍රතිකාර ගන්න දඹුල්ල ​රෝහලේ වෛද්‍යවරු කියන්නේ මේක සමේ ඇතිවුණ රෝගයක් කියලයි. දොස්තර මහත්තුරු එහෙම කියද්දි මුළු ගමක් කියනවා අපිට ඒඩ්ස් කියලා. එතකොට මැරෙන්න නොහිතෙන්නේ කාටද? දඹුල්ල රෝහලේ දොස්තරවරු තමයි අපිට කිව්වේ ඔය කතාවලට මැරෙන්න එපා කියලා.’’

ශලිනිලාගේ ලෝකය බොරු කතාවක් නිසා විනාශ වී යන බව දැනගත් දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් මේ දරුවන්ට පිහිට වන්නට සිතූහ. ඔවුන් ශලිනිලා ලක්ව ඇති සමාජ අසාධාරණය ගැන රටටම කියන්නට ඒ ප්‍රදේශයේ මාධ්‍යවේදීන් දැනුවත් කළේ ඒ නිසාය. ඔවුන්ගේ රෝග තත්ත්වය ගැන දඹුල්ල මූලික රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දේවිකා සුදර්ශනී මහත්මියද කියා ඇත්තේ මේ දරුවන්ට ඇත්තේ සමේ රෝගයක් බවය.

එය සමාජ රෝගයක් නොව සමේ රෝගයක් බවට ලිපියක්ද වෛද්‍යවරිය විසින් සහතික කොට සිංහලෙන්ම ශලිනිලාට ලබාදී ඇත. කෙසේ වුවද පමා වී හෝ මාධ්‍යයෙන් මේ ගැන හෙළිදරව් වීමත් සමග ඒ ගමේ මිනිසුන්ගේ සිතද පාසලේ විදුහල්පතිවරයාගේ පවා දැනුමේ තරම රටම දැන ගත්තේය. ප්‍රතිකාර කරනා වෛද්‍යවරුන් කියන්නේ නම් එය සමේ රෝගයක් කියා ඊටත් වඩා ඒ ගැන තව සහතික වුවමනා නැත.

අනෙක ඒඩ්ස් හෝ වේවා ඕනම සමාජ රෝගයක් මිනිසුන් ළඟ සිටියාට, කඩේකට ආවට ගියාට, ළිඳකින් වතුර ටිකක් ගත්තාට ළඟින් ගියාට බෝ වන්නේ නැත. සමාජ රෝගයක් ​බෝවෙන ක්‍රමයක් තිබේ. ඒ ගැන ගමත් විදුහල්පතිවරයාත් තව දැනුවත් විය යුතුයි. එය කෙසේ වුවද මේ තරුණියන් සයදෙනාද පුංචි සිඟිත්තාද පව්ය. ඔවුන් සිටින්නේ එවන් වයසේ දැරියන් ජීවත් විය යුතු නිවසක නොවේ. එමෙන්ම හරියට කන්නට, බොන්නට, අඳින්නට නැතිව ඔවුන් ගෙවන මේ ජීවිතය දෙස මේ මොහොතේවත් රටම ඇස් හැර බලා දයාවෙන් සිතන්නට පෙලඹෙන්නේ නම් අම්මා මුදලක් එවනතුරු කුසගින්නේ සිටින ඔවුන්ගේ කුසගිනි හෝ නිවෙනු ඇත.

ලක්ෂික සංදීප ආරියදාස

ඡායාරූප – ලක්ෂිත සංදීප ආරියදාස

අරුණ පුවත්පතෙනි

Leave A Reply

Your email address will not be published.